සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න
රට තුළ ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා ගුරු සේවයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, පවතින ගුරු හිඟය සලකා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදීම, උසස් අධ්‍යාපන ආයතනවල මානව සම්පත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින දීර්ඝකාලීන ව්‍යුහාත්මක ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දැඩි අවධානය යොමුව තිබේ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට භාජනය විය.
මෙම විශේෂ රැස්වීමේදී සමස්ත පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, දැනට පවතින ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම විද්‍යා හා ගණිත වැනි ප්‍රධාන විෂයන් සඳහා පවතින ගුරු හිඟය අවම කිරීම වෙනුවෙන් නව බඳවාගැනීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ගුරු අවශ්‍යතා පවතින ප්‍රදේශ හඳුනාගෙන ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි ද අවධානය යොමු විය.
එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු ගුරු හිඟයට දැඩි ලෙස මුහුණදෙන ප්‍රදේශවල පාසල් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී. තවද, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය පූර්ණ විනිවිඳභාවයකින් යුතුව අනුමත රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා දීමනා ලබාදීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සහ පාසල් දුෂ්කරතාව තීරණය කිරීමේ නිර්ණායක යළි සමාලෝචනය කර යාවත්කාලීන කිරීම පිළිබඳව ද කාරක සභාවේදී අදහස් හුවමාරු විය.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු කඩිනමින් පිරවීම, ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී පියවර ගැනීමට තීරණය විය.
මීට අමතරව, පාසල් සතු ඉඩම් හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන අන්තර්කරණ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සංශෝධන සිදුකිරීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.