"උදේ පාන්දරට අම්මා හදන ඉඳිආප්ප ටික කඩවල් වලට දාල තමයි මම ඉස්කෝලෙ ගියේ..." - නළු ඉසුරු ගිල්ශාන් මුහුණු පොතට එකතු කළ සංවේදී සටහන..(PHOTOS)
ඉසුරු ගිල්ශාන් අබේකෝන් කියන්නේ රංගනයට වසර කිහිපයකට පෙර ආ නළුවෙක්. නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබෙන ඔහු වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ නිරූපනයෙන්. ඔහු ඔහුගේ ජිවිතයේ සංවේදී කතාවක් මුහුණු පොතට එකතු කර තිබෙනවා.
එය පහතින්....
මේ ඉන්නෙ මගේ අම්මයි තාත්තයි ආච්චියි, මම පොරක් නෙවේ. හැබැයි මාව පොරක් කරන්න මේ තුන්දෙනා දුක් විඳපු හැටි මට අදටත් මතකයි. මේක මේ විදියට ලියන්නෙ හේතුවක් ඇතුව. හේතුව වැඩක් නෑ. හැබැයි ඔයාට මේක කියවන වෙලාවෙ අම්මව හරි තාත්තව හරි විනාඩියකට හරි මග ඇරිලනම් පරක්කු නෑ. කෝල් එකක් හරි ගන්න.
ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන්නෙ සල්ලි වත් යාන වාහන වත් සැප සම්පත් වත් නෙවේ. එකම එක වචනයක්. එකම එක කෝල් එකක් ඇති එයාලට. මගේ අම්මවත් තාත්ත වත් ඉගෙනීම අතින් මහ ලොකු මිනිස්සු නෙවේ. අම්මා මාව පුංචි කාලෙ පොල් සම්බෝලයි බතුයි හදාගෙන තමයි මාව පන්ති අරගෙන ගියේ.
මම ශිශ්යත්වෙ ලියනකන් එයා රස්සාවකට ගියේ නෑ. මොකද එයාට ඕන උනේ මාවයි නංගිවයි ලොකු තැනකට ගේන්න. රස්සාවක් නොකරට එයා සල්ලි හොයන්න නොකරපු දෙයක් නෑ. ගෙදර පුංචි කඩයක් කරා , පාපිසි මහල විකිණුවා , ඇඳුම් මහල විකිණුවා , ඉඳි ආප්ප හදල විකිණුවා , උදේ පාන්දරට හදන ඉඳිආප්ප ටික එක්කො මම හරි තාත්ත හරි අම්ම හරි කඩවල් වලට දාල තමයි මම ඉස්කෝලෙ ගියේ.
ආයෙ ඉස්කෝලෙ ඇරිල එද්දි මම කඩවල් ගානෙ ගිහින් අර ඉතුරු වෙලා තියෙන ඉඳි ආප්ප ටිකයි සල්ලියි අරං එනව ගෙදර. බස් එකට ඉස්සර ඉස්කෝලෙට යන්නයි එන්නයි රුපියල් 4යි. අම්මගෙන් සල්ලි ඉල්ලුවොත් මට රුපියල් 5ක් දෙනව.
ඒක ලෝභකම කියලයි මට ඉස්සර හිතුණෙ.ඒත් ඒක ලෝභකම නෙවේ. අරපිරිමැස්ම. මාව පන්ති වලට දාල පන්ති ඉවර වෙනකන් අම්ම නොකා නොබී ඉන්නව. ඉවර උනාම දෙන්නම ගිහින් ගාල්ලෙ "සහන" එකෙන් මාලුපාන් එකයි තේ එකයි බොනව.
ඒකත් එයා මට කිරි තේ එක අරන් දීල එයා කහට එක බොනව. අම්මගෙ ආදරේ තාමත් එහෙමයි. හැමදාටම එහෙමයි. ගෙදර ගිය දවසට තාම මට කවන්නෙ අම්මා. ගෙදර යන්න පරක්කු වෙනකොට අහන්නෙ මේ සතියෙවත් ගෙදර එනවද කියල විතරයි.
ඒ අම්මලගෙ හැටි. අම්මල හැමෝම එහෙමයි. තාත්තා මාව ඉස්කෝලෙ එක්කන් ගියේ ෆුට්සයිකලෙන්. අදටත් ඒ බයිසිකලේ කැඩිල. ඒත් ඒක තාම ගෙදර තියෙනව. කාට හරි විකුණන්න කියද්දි එයා කියන්නෙ මේක මගේ ළමයි දෙන්න ඉස්කෝලෙ ගෙනියපු බයිසිකලේ.
ඒක මතක තියෙන්න මං මේක තියාගන්නව කියල.අදටත් මම ගෙදර එන දවසට අම්මයි තාත්තයි එකතු වෙලා හදන්නෙ අපි කන්න ආස කෑම. එයාලගෙ වත් මගේ වත් උපන්දින අපි සමරල නෑ. මොකද අපි ඒ කාලෙ ඉඳලම පාටි වලට එහෙම ලොකු මනාපයක් නෑ. තාත්තා අපිට උගන්නන්න රට ගියා. මැලේසියාවට.
ඒත් අන්තිම කාලෙ කන්නවත් නැතුව දුක් විඳල තමා ලංකාවට ආවෙ. එද්දි මට තාත්තව අඳුරගන්න බෑ. ඒතරම් කෙට්ටු වෙලා. ඒ එයලාගෙ සතුට වෙනුවෙන් නෙවේ. අපි දෙන්නා වෙනුවෙන්. ඒ මගේ තාත්තා. හැමෝගෙම තාත්තල එහෙමයි. මගේ ආච්චිට දැන් වයස අවුරුදු 90ක්.
සිහිකල්පනාව අඩුයි. කණ් ඇහෙනව අඩුයි. ඒ මගේ දෙවෙනි අම්මා. මොන්ටිසෝරියෙ ඉඳල A/L ඉවර කරනකන්ම අපිට සල්ලි වියදම් කරේ එයා. එයාට සල්ලි කොහෙන්ද? එයා කරේ සාස්තර කියන එක. මම ඒව කියන්න ලැජ්ජ නෑ. මොකද ඒ අය කරපු කැප කිරීම් වෙනුවෙන් මට ඕන දෙයක් ඉවසන්නයි කරන්නයි පුලුවන්.
එයා උගුර ලේ රහ වෙනකන් කියෙව්වෙ අපි වෙනුවෙන්. අපිව තැනකට ගේන්න. එයා මට මතක ඇති කාලෙ ඉඳල උදේ හවස බුදුන් වඳින කෙනෙක්. ඒ වඳිනකොට සෙත් කරවන්නෙ සෙත් කවි කියන්නෙ කා වෙනුවෙන්ද කියල මට වඩා හොඳට දන්නෙ අපේ ගමේ අය. එයා සෙත් පතන්නෙ එයාගෙ පුතාට , එහෙමත් නැත්නම් මගේ තාත්තට නෙවේ. එයාගෙ පුතාගෙ ලමයි දෙන්නට.
මටයි නංගිටයි.ඉස්සර ස්කෝලෙ යන්න ආච්චිගෙන් සල්ලි ඉල්ලුවම එයා මට ඉල්ලනවටත් වැඩියෙන් දෙනව. ඒ එයාගෙ හැටි. අදටත් මම ගෙදර ගියාට පස්සෙ අනේ මගේ රත්තරං පුතා ආව දැන් මට හෙට මැරුණත් කමක්නෑ කියලයි කියන්නෙ. ඒ මගේ ආච්චි. හැමෝම ආච්චිල එහෙමයි.
මට මං ගැන පට්ට සතුටුයි. පට්ට ආඩම්බරයි. මම අද වෙනකන් ඒ අයට මගේ පැත්තෙන් කිසිම වෙනසක් වෙන්න දුන්නෙ නෑ....කරන්න පුලුවන් දේ පුලුවන් විදියට කරා. කරනවා. ඔයාගෙ වැඩත් එක්ක ඔයාගෙ ජීවිතෙත් එක්ක ඔයාට එයාලව මග ඇරිල ඇති. කමක්නෑ.
අද ඉදලා මග ඇරෙන්න දෙන්න එපා. එයාල කෝල් කරොත් කවදාවත් ආන්සර් නොකර ඉන්න එපා. මිස්කෝල් එකක් තිබ්බොත් ආයෙ ගන්න. සමහර විට එයාලගෙ බෙහෙත් ටික ඉවරවෙලා කියන පණිවිඩේ දෙන්න වෙන්න ඇති ඒ කෝල් එක. සමහරවිට එයාලට කෑම බීම වල ප්රශ්න වෙන්න ඇති. මග ඇරෙන්න දෙන්න එපා.
නරක හීනයක් දැක්කොත් එයාලට මුලින්ම මතක් වෙන්නෙ අපි හොඳින්ද කියල බලන්න. එයාල කන කෑම හිර උනොත් එයාලට මතක් වෙන්නෙ අපි කෑවද බලන්න. ඒව ඔයාට දැන් තේරෙන්නෙ නා.එයාල අපිට නැති වුණු දවසට තේරෙයි.
එදාට අනේ මට ඒ කෝල් එක ආන්සර් කරන්න තිබ්බා , එහෙමත් නැත්නම් අනේ මට මීට වඩා දෙයක් එයාල වෙනුවෙන් කරන්න තිබ්බා කියල හිතින් දුක් වෙන්නෙ නැතුව කවදහරි අනේ මගේ දරුවො අපට සලකනව කියල එයාල කියන විදියටයි අනේ මං මට පුලුවන් හැමදේම එයාල වෙනුවෙන් කරා කියල ඔයාට සතුටු ව්ර්න්න පුලුවන් විදියටයි වැඩ කරන්න. එයාලට ඔයාගෙ කටහඬම ඇති නිදහසේ මැරෙන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |