සතුරන්ගේ අවි හෝමූස් හරහා ප්‍රවාහනය කිරීමට අවසර නැහැ - ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා “විරෝධී බලවේගයන්ගේ” අවි ආයුධ ප්‍රවාහනයට ඉදිරියේදී ඉඩ නොදෙන බව ඉරානය ප්‍රකාශ කර තිබේ. ඉරාන උප ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තම රටේ ස්වෛරී අයිතිය තවදුරටත් අවතක්සේරු නොකරන බවයි.
එමෙන්ම මීට පෙර මෙම මාර්ගය ඔස්සේ හමුදා උපකරණ ප්‍රවාහනයට අවසර ලබාදුන් නමුත්, ඒවා තම රටට එරෙහිව භාවිතා විය හැකි බැවින් එවැනි ක්‍රියාමාර්ග නැවත ඉඩ නොදෙන බවද ඉරාන උප ජනාධිපතිවරයා පවසා සිටියේය.
එම අතර, මාස දෙකකට පෙර ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් ඉරානය සලකා බලමින් සිටින බවයි.
ඊට අදාළව, ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක හා විදේශ ප්‍රතිපත්ති කමිටු සභාපති ඉබ්‍රාහිම් අසීසි ප්‍රකාශ කර ඇත්තේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම සඳහා නව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද සූදානම් කර ඇති බවයි.
එම ක්‍රමවේද ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඉරානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන රටවල වාණිජ නෞකා සහ අනෙකුත් යාත්‍රාවලට මෙම මාර්ගය භාවිත කිරීමට අවසර හිමිවන බවද වාර්තා වේ.