කැලණිය සහ වනවාසල අතර සිදු වූ දුම්රිය අනතුර ගැන තොරතුරු රැසක් එළියට
කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අද (16) අලුයම දුම්රියක් පීලි පැන පෙරළීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඒ අනුව පීලි පැනීමේ අනතුරට සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනවලට අනුව දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවය.
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු දුම්රිය මාර්ගයෙන් සොරාගන්නා ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවයි.
මෙම සිදුවීමට සම්බන්ධ අනෙක් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලීසිය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. අද අලුයම සිදුවූ මෙම දුම්රිය අනතුර හේතුවෙන් මගීන් 12 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ තුවාල ලැබූ මගීන් අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහල් වෙත ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, ඉන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේය.