හෙට රටටම අවවාදාත්මක නිවේදනයක් - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය අද (19) පස්වරු 5.00ට නිකුත් කර ඇති අතර, එය හෙට (20) දිනය සඳහා වලංගු වන බව සඳහන් වේ.

ඒ අනුව, නැගෙනහිර පළාතට මෙන්ම කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය මිනිස් සිරුරට “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බවයි. ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙස එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් වේ.