හෙට සිට සුදු හා රතු බිත්තර මිල ඉහළට - නව මිල මෙන්න

By Ashfa Jul 19, 2026 01:15 PM GMT
Report

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හෙට (20) සිට සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇත.

අද (19) එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කුලියාපිටියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසුවේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ අදාළ බලධාරීන් සෘජුව වගකිව යුතු බවයි.

ඩෙංගු රටම හොල්ලයි - ලංකාවේ සියලු විශ්වවිද්‍යාල සීරුවෙන්

ඩෙංගු රටම හොල්ලයි - ලංකාවේ සියලු විශ්වවිද්‍යාල සීරුවෙන්

එමෙන්ම ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර, දේශීය ඉරිඟු නිෂ්පාදනය බිත්තර කර්මාන්තයට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් නොවන බව ඔහු පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉරිඟු වෙනුවට සහල් ඇතුළු විවිධ ආදේශක භාවිත කිරීම හේතුවෙන් සතුන්ගේ සෞඛ්‍යයට හා ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් බිත්තර නිෂ්පාදනය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි.

එමෙන්ම, ඇතැම් කූට වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවටද සංගමයේ සභාපතිවරයා චෝදනා කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් ගොවීන්ට දැඩි පාඩු සිදුව ඇති අතර, දෛනික බිත්තර නිෂ්පාදනයද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ඔහු පැවසීය. අදාළ බලධාරීන් මෙම ගැටලු පිළිබඳව දැනුවත්ව සිටියද, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවද සරත් රත්නායක මහතා සඳහන් කළේය.