මත් පැන් ලෝලීන්ට උණ ගැනෙන්න ස්කොච් විස්කි සඳහා 162.5%ක බද්දක් - ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර වෙළෙඳ මතභේදයක්
නව දිල්ලිය විසින් තොග ලෙස ආනයනය කෙරෙන ස්කොච් (Scotch) මධ්‍යසාර මත පනවා ඇති ඉහළ තීරු බදු සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රජය ඉන්දියාව වෙත සිය කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දීය වාණිජ ලේකම් රාජේෂ් අග්‍රවාල් ඊයේ(23) දින ප්‍රකාශ කළේ, දෙරට අතර පවතින වෙළඳ ගිවිසුමට අදාළ මෙම ආරවුල කඩිනමින් විසඳා ගැනීම සඳහා ඉන්දියාව මේ වන විට අභ්‍යන්තරව නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවයි.
එසේම ඉන්දියාව විසින් තොග වශයෙන් ආනයනය කෙරෙන ස්කොච් මත මේ වන විට 162.5%ක සැබෑ තීරු බද්දක් පනවා තිබෙන අතර, එය දෙරට අතර පවතින වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බව රොයිටර් පුවත් සේවය පසුගිය සතියේ වාර්තා කර ඇත.
තවද ඉන්දීය වාණිජ ලේකම් රාජේෂ් අග්‍රවාල් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් රාජධානියේ රජය මෙම ගැටලුව ඉන්දියාවේ අවධානයට යොමු කර ඇති බවත්, ඉන්දියාවේ වෙළඳ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අධිකරණ තීන්දු මෙන්ම ගිවිසුම යටතේ ඉන්දියාව සතු වගකීම්වලට ද අනුකූල වෙමින්, ඉදිරි දින කිහිපය තුළ මෙම කාරණය විසඳීමට කටයුතු කරමින් සිටින බවත් ය.
"මෙම සමස්ත ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාව තම වගකීම් දැඩිව දරයි. මෙහිදී ගිවිසුමෙන් ඉවත් වීමක්, එය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒ පිළිබඳව නැවත සිතා බැලීමක් සිදු නොවේ... මේ පිළිබඳව අපට මෙන්ම රජයේ සියලු මට්ටම්වල සිටින අයට ද ඉතා පැහැදිලි අවබෝධයක් ඇත. එක්සත් රාජධානියේ බලධාරීන් සමඟ අප සිදු කළ සාකච්ඡාවලදී ද මේ බව පැහැදිලි වූ බව මම සිතමි," යනුවෙන් අග්‍රවාල් පැවසූ බව සඳහන්.
ඉකුත් ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ ඉන්දු-එක්සත් රාජධානියේ වෙළඳ ගිවිසුම මගින් ස්කොච් විස්කි (Scotch whisky) වෙනුවෙන් වූ තීරු බදු 75% දක්වා අඩු කරන ලදී.
එසේම 'Pernod Ricard' සහ 'Diageo' වැනි සමාගම්වලට මෙය විශාල ජයග්‍රහණයක් වශයෙන් ව්‍යාපාරික ක්ෂේත්රය සහ බ්‍රිතාන්‍යය විසින් අගය කර ඇත.
මෙම සමාගම් විශාල ලෙස ස්කොච් විස්කි ආනයනය කර, ඒවා එකිනෙක මිශ්‍ර කිරීමෙන් ඉන්දියාවේ ඩොලර් බිලියන 65ක් වටිනා මද්‍යසාර වෙළඳපොළ සඳහා ජනප්‍රිය වෙළඳ නාම නිෂ්පාදනය කරන බව වාර්තා වේ.