IMF කණ්ඩායම ලංකාවෙන් පිටවෙයි - අනාගත EFF සාකච්ඡා සූදානමින්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කණ්ඩායමක්, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ ආර්ථික හා සමාජීය හානි පිළිබඳ අධ්‍යයනය කිරීම සහ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් පසුගිය ජනවාරි 22 වැනිදා මෙරටට පැමිණ තිබුණි. මෙම කණ්ඩායමේ සංචාරය මේ වන විට සාර්ථකව අවසන් කර ඇත.
සංචාරය අතරතුර IMF කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, කම්කරු අමාත්‍ය හා මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ඇතුළු රජයේ හා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ විස්තීර්ණ සාකච්ඡා පවත්වා ඇත.
මීට අමතරව රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සමාජ සංවිධාන හා විවිධ පාර්ශ්වයන් සමඟද කණ්ඩායම සාකච්ඡා කර ඇති අතර, සුළි කුණාටුවෙන් යටිතල පහසුකම් හා ජීවනෝපායන්වලට සිදුවූ හානි, ස්වභාවික විපත්ති සඳහා රජයේ මූල්‍ය ප්‍රතිචාර, මුදල් ප්‍රතිපත්ති හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“මෙම සංචාරයේදී රජයේ ඉදිරි ප්‍රතිපත්තිමය අරමුණු, මූල්‍ය අවශ්‍යතා හා Extended Fund Facility (EFF) වැඩසටහන යටතේ නැවත ගොඩනැගීම හා පුනරුත්ථාපන කටයුතු සඳහා IMF විසින් ලබා දිය හැකි සහාය පිළිබඳව තොරතුරු හුවමාරු කර ගත්තෙමු.”
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, රජය මූල්‍ය හා ණය ස්ථාවරත්වයේ ලබාගත් ප්‍රගතිය ආරක්ෂා කිරීම, රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම, ව්‍යාපෘති ප්‍රමුඛතා නැවත සකස් කිරීම හා සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටින බවයි.
විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility) හි පස්වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉක්මනින් IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යැවීමට සැලසුම් කර ඇති බවද IMF පැවසීය.
අවසානයේ IMF තහවුරු කර ඇත්තේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම හා තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන්හිදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ රටට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවයි.