හිස කෙස් ගැලවෙනවා වැඩි නම් මෙන්න උපදෙස්
කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන පංච කල්‍යාණය අතරින් කේශ කල්‍යාණයට හිමිවන්නේ වැදගත් තැනක්. හිසකෙස් අකලට වැටීම, සිනිඳු වීම, ගැලවී යාම ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙකුට වර්තමානයේ තිබෙන බරපතළ ප්‍රශ්නයක්. හිසකෙස් ගැලවෙන එක, හිසකෙස් කැඩෙන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණත්, එදිනෙදා ගතකරන කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ දෙනෙක් හිසකෙස් ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒත් නිරෝගී කෙස් කලඹක් සකසා ගැනීම සඳහා ඔබේ දැනුවත්භාවය අත්‍යවශ්‍යයි.
පුද්ගලයකුගේ කෙස් ගසක් වර්ධනය වන ආකාරය ගැන අපි දැනගෙන සිටීම මෙහිදී ඉතාමත් ම වැදගත්.කෙස් ගසක් වර්ධනය වීම අවධි තුනකින් සිදු වෙනවා.
1. වර්ධක අවධිය (Anagen Phase)
2. නිසල අවධිය (Resting Phase)
3. ගැලවී යාමේ අවධිය (A falling Phase) යනුවෙන් ඒ අවස්ථා හඳුන්වනවා.
නීරෝගි පුද්ගලයකුගේ හිසේ කෙස්ගස් ලක්ෂයක් පමණ තිබෙනවා.දිනකට හිසකෙස් ගස් 100 ක් පමණ ගැලවී යාම සාමාන්‍ය තත්ත්වයක්.
සාමාන්‍යයෙන් නිරෝගි පුද්ගලයකුගේ හිසකෙස්වලින් 80% ක් වර්ධක අවධියේත්, 5% ක් නිසල අවධියේත් ඉතිරි 15% ගැලවී යාමේ අවධියේත් පවතිනවා.
කෙස් ගසක් මසකට සෙන්ටිමීටර 1 ක් හෝ 2 ක් පමණ ප්‍රමාණයකින් දිගින් වර්ධනය වෙනවා. “අනේ කොණ්ඩෙ හරියට යනවා...” යැයි කියමින් නිතර කාන්තාවන් මැසිවිලි නඟනවා. මේ තත්ත්වය තේරුම් ගන්න ආකාර කිහිපයක් තිබෙනවා.හිස පීරන විට කෙස් අධික ලෙස පනාවට ඒම, ස්නානය කිරීමෙන් පසු අධික ලෙස කෙස් ගැලවී යාම, නිදාගෙන අවදි වන විට කොට්ටය මත කෙස් සාමාන්‍ය ප්‍රමාණයකට වඩා තිබීම, තැනින් තැන හිස් කබල පෙනෙන තත්ත්වයක්
ඇතිවීම යනාදිය මෙහිදී වැදගත්. l අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවීම දිනකට කෙස් ගස් 150 ඉක්මවා ගැලවී යාම අසාමාන්‍ය තත්ත්වයක්. මෙහිදී හිසකෙස් තුනී වීමක් හෝ තැනින් තැන කෙස් අඩුවීමක් දක්නට ලැබෙනවා. විවිධ අසනීප තත්ත්ව
1. Andro genetic Alopecia
අද බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබෙන හිසකෙස් ගැලවී යාමේ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකියි. එසේ ම, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මෙවැනි තත්ත්වය ඇතිවිය හැකියි.
a) ටෙස්ටස්ටෙරෝන්
(b) වයස අවුරුදු 20 ට වැඩි
(c) ජානමය හේතු යන සාධක
ත්‍රිත්වයේ සංකලනයක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවීමට පුළුවන්.
(2) උඳුගොව්වා කෑම
මෙහිදී තැනින් තැන හිසකෙස් ගැලවී යාම සිදුවෙනවා. එහෙත් කලාතුරකින් සම්පූර්ණ හිසේම හෝ මුළු ශරීරයේම කෙස් ගැලවී යා හැකියි. මෙය කෙස් ගසේ මුල ඇතිවන අසනීප තත්ත්වයක්. ඒත් බොහෝ දෙනා සිතා සිටින්නේ උඳුගොව්වන් කනවා කියන්නේ ක්ෂූද්‍ර ජීවී විශේෂයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවයි. ඒත් එය මිථ්‍යාවක්
(03) Telogen Efmrium
මෙහිදී විසිරී පවතින කෙස් ගැලවී යාමක් සිදු වෙනවා. හදිසියේ ඇතිවන වෙනත් අසනීපයකට මාස 03 ක පමණ පසුව මෙවැනි තත්ත්වයක් උදාවිය හැකියි. උදාහරණ වශයෙන් උණ සන්නිපාතය, සෙංගමාලය, දරු ප්‍රසූතිය, මානසික ආතතිය යනාදිය මෙහිදී වැදගත්. ප්‍රතිකාර මඟින් මේ තත්ත්වය ඉතාමත් සාර්ථකව පාලනය කළ හැකියි. දරු ප්‍රසූතියෙන් පසුව මවුකිරි දීම වැනි කරුණු නිසා හිසකෙස් ගැලවී යන්නට පටන් ගත් නමුත්, නිසි ලෙස විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබල ආහාර වේලක් ගැනීමෙන් මේ තත්ත්වය කාලයත් සමඟ නැවත යථා තත්ත්වයට පත්වෙනවා.
(04) නිධන්ගත රෝග නිසා ඇතිවන කෙස් ගැලවීම
උදාහරණ වශයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ අසනීප ,Syphilis වැනි ආසාදන, යකඩ ඌණතා හෝ වෙනත් පෝෂණ ඌණතා ආදිය නිසා කෙස් ගැලවී යාමට පුළුවන්. දිලීර සහ බැක්ටීරියා ආසාදන නිසා ද හිසකෙස් ගැලවෙනවා. ඒ වගේ ම අධික ආතතියක් ඇතිවන අයුරින් කරන කොණ්ඩා මෝස්තර නිසා ද කෙස් ගැලවෙන්න පුළුවන්. තදට සිටින සේ හිසකෙස් ගෙතීම, කොණ්ඩය ගැටගැසීමටත්, ගැලවී යාමටත් බලපානවා. එසේ ම, විලාසිතා සඳහා කෙස්වලට දමන රසායන ද්‍රව්‍ය මඟින් ද මෙවැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්. අද බොහෝ දෙනා අතර ජනප්‍රිය හිසකෙස් අයන් කිරීම මඟින් ද, හිසකෙස් වියලන උපකරණ මඟින් ද කෙස් කැඩීම, ගැලවී යාම දැකිය හැකියි.
උදා - Tight curlers and hair tyles Corn – braiding මේ හැරුණු විට ඖෂධවල අතුරු ඵල නිසා ද කෙස් ගැලවී යන්න පුළුවන්. උපත් පාලන පෙති, පිළිකා මර්දන ඖෂධ, ලේ කැටි ගැසීම වැළැක්වීමේ ඖෂධ ආදිය නිසා හිසකෙස් ගැලවෙන්න පුළුවන්. l වෛද්‍ය ප්‍රතිකාර
ඉහත සඳහන් කළ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ප්‍රමාණවලින් හිසකෙස් ගැලවී යනවා නම්, වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. වෛද්‍යවරයා රෝග නිධානය සොයා බලා ප්‍රතිකාර කළ පසු ඔහු නියම කරන කාලය පුරාවටම ඖෂධ ප්‍රතිකාර ගත යුතුයි. හිසකෙස් මසාජ් කිරීම (Scalp Massage) හෝ හිතුමතේ ඖෂධ ලබාගැනීම කොහෙත්ම සුදුසු නෑ. මෙහිදී දැති දුරස් පනා භාවිත කළ යුතුයි. Brush කිරීම සුදුසු නෑ. තමාට ගැළපෙන විලාසිතා පමණක් කළ යුතුයි. ෆර්ම් කිරීම තාවකාලිකව නවතා දැමීම ඉතා යෝග්‍යයයි. හැකි අයුරින් සමබල ආහාර වේලක් ලබාගැනීමත්, හිස සේදීමට සැර නැති පිරිසුදු කාරකයක් භාවිත කිරීමත් මඟින් හිසකෙස් ගැලවී යාම පාලනය කළ හැකියි.
උපදෙස් - වෛද්‍ය ජී. එම්. චන්ද්‍රවංශ
