අද (27) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.
එතුමීය වැඩිදුරටත් පැවසුවේ
''අද දිනයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගිගුරුම් සහිත වැසිත් සමඟ තාවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන් සහ අකුණු ඇතිවෙන්න පුළුවන්. මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කර සිටිනවා, ඒ වගේම අවශ්‍ය පියවර ගන්න කියලත් අපි ජනතාවට මතක් කරනවා.
නොවැම්බර් මස 29 වැනිදා පමණ වන විට දකුණු අන්දමන් දූපත් ආශ්‍රිතව කැළඹිලි ස්වභාවයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා . එය නොවැම්බර් මස 30 පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම දෙසැම්බර් මස 02 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ අඩු සම්භාවිතාවක් තමයි පවතින්නේ .
ඒ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාවට තමයි වැඩි අවධානයෙන් කටයුතු කරන්න ඕනේ . විශේෂයෙන්ම දකුණු අන්දමන් සහ ගිනිකොනදිග බෙංගාල මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව වැඩි අවධානයෙන් පසුවෙන්න කියලත් කියන්න ඕනේ.''
[