අඩු පීඩන කලාපය තවදුරටත් - ඉදිරියටත් වැසි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රියව පැවතීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින්, දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට විශේෂ දැනුම්දීමක් කර ඇත.
විශේෂයෙන්ම මුලතිව් සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
නිරිත දෙසින් හමා එන සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 25-35ක් පමණ වන අතර, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා ඉහළ යා හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.