ලංකාවෙත් වෛරස් උණ තත්ත්වයක් - පැතිරීම පාලනයට හදිසි පියවර
දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වන වෛරස් උණ පැතිරීම පාලනය කිරීම සඳහා ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
රෝගය වේගයෙන් පැතිරීමේ අවදානමක් දැනට නොමැති බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. පැතිර යන වෛරස් උණ පිළිබඳ පරීක්ෂණ වාර්තාව අද ලැබීමට නියමිත බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්. ජී. එස්. පණ්ඩිතරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් ඊයේ දෙනියායට ගොස් පරීක්ෂණ පැවැත්වූ බව අධ්‍යක්ෂවරයා පැවසීය.
රෝගීන්ගෙන් ලබාගත් ජෛව සාම්පල භාවිතා කරමින් කරාපිටිය රෝහලේ සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ මෙම රෝගය මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය සමඟ බහුලව සම්බන්ධ වන වෛරස් සමූහයකට සම්බන්ධ බවයි.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට අනුව, වෛරසය ප්‍රධාන වශයෙන් ශරීරයට ඇතුළු වන්නේ දූෂිත ජලය හෝ ආහාර හරහා ය. පැතිර යන වෛරස් උණ හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ වසා දැමූ පාසල් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය.
පැතිර යන වෛරස් උණ හේතුවෙන් දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ පාසලේ ප්‍රාථමික අංශය ඇතුළු පාසල් පසුගිය දින දෙක තුළ වසා දමා තිබුණි.