හැව්ලොක් සිටි රන් ආලේපිත ගිනි අවි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය 2027 ජනවාරි 29 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි. එහිදී නඩුවේ සාක්ෂි විභාගය සඳහා 2027 ජනවාරි 29, පෙබරවාරි 18 සහ පෙබරවාරි 26 යන දිනයන් අධිකරණය විසින් නියම කරනු ලැබීය.
එම අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ කසකස්ථාන ජාතික කාන්තාවක වන අයිගුල් ෂෙරගාසිනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මේ අතර, නඩුවේ පළමු විත්තිකාරිය වන කසකස්ථාන ජාතික කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදාහැරීමට බාධාවක් නොමැති බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.
ඒ අනුව, අදාළ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා ඇයට දැනුම් දුන්නේය. එලෙස ලබාගන්නා විදේශ ගමන් බලපත්‍රය සති දෙකක් ඇතුළත මෝසමක් මාර්ගයෙන් මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කෙරිණි.
තවද, පැමිණිල්ලේ පළමු සහ තෙවැනි සාක්ෂිකරුවන්ට නියමිත දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.
2025 වසරේ මැයි 20 වැනිදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.