යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ
යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
වර්තමාන හා අනාගත වැඩ ලෝකයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කළ විශේෂඥ කමිටුවක් විසින් සකස් කරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව එහිදී කරුණු ඉදිරිපත් කෙරුණු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දැනට පවතින ප්‍රධාන කම්කරු නීති අධ්‍යයනය කර ඒවා ඒකාබද්ධ කරමින් නව නීති රාමුවක් සකස් කිරීම මෙහි අරමුණ බව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළහ.
යෝජිත නව කම්කරු නීති සංශෝධන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කෙරෙන අතර ඊට ශ්‍රම ප්‍රමිතීන්, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව, කාර්මික ආරවුල් හා සම්බන්ධතා සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් ඇතුළත් වේ.
මෙම නව රාමුව තුළ සේවා ගිවිසුම් විධිමත් කිරීම, වැඩ කරන වේලාවන්, නිවාඩු හා අතිකාල විධිවිධාන, මාතෘ ආරක්ෂණය, පීතෘ නිවාඩු, අර්ධකාලීන සේවක අයිතිවාසිකම්, සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ මෙන්ම වැඩ ලෝකය තුළ හිංසනය හා හිරිහැර වැළැක්වීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් වන බව නිලධාරීහු පැහැදිලි කළහ.
යෝජිත ශ්‍රම ප්‍රමිති පනත් කෙටුම්පතේ දැනට සකස් කර ඇති පරිච්ඡේද හතර මහජනතාවට සහ පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා labourmin.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති අතර, වෘත්තීය සමිති, සේවායෝජකයින් සහ සේවක නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.
මෙම රැස්වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.