හර්ෂව තනතුරින් ඉවත් කළ හේතුව බව කියන සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා වන හර්ෂ අබේවික්‍රම මහතා තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව පළ වන වාර්තා සම්බන්ධව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අඳාළ නිවේදනයෙන් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ හිටපු සභාපතිවරයා තනතුරින් ඉවත් කිරීමට හේතු වූ කාරණය ලෙස ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්, ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළත්වීමට ලබාගත් විශේෂ අවසර පත්‍රයක් දීර්ඝ කිරීමට ඉල්ලීම් කරන ලද ලිපියක් පාදක කරගනිමින් සාවද්‍ය මතයක් ඇතැම් සමාජ මාධ්‍යයන් හී පළවන බවටයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලිපි ශීර්ෂය සහිත වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාට ඉකුත් 2025.12.29 දින පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ලිපියක් මඟින් පසුගිය කාල වකවානුවල ලබා දී තිබූ ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළත්වීමේ විශේෂ අවසර පත්‍රය ඉකුත් දෙසැම්බර් 31න් කල් ඉකුත් වන බැවින් එය ඉදිරි වර්ෂය වෙනුවෙන් දීර්ඝ කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලූ බවත් එය අමාත්‍යවරයා විසින් බානගල හිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික කටයුතු පිළිබඳව සලකා බලා ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළුවීමේ විශේෂ අවසර පත්‍රය ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනි දින සිට ඉදිරි වර්ෂයට දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස අඳාළ ලිපියේම සටහනක් තබා ඉදිරි කටයුතු සඳහා හිටපු සභාපතිවරයා වෙත යොමු කළ බවත් අමාත්‍යාංශය සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ එහිදී විශේෂ අවසර පත්‍ර නිකුත් කිරීම සම්බන්ධව මීට පෙර අවස්ථාවල ඇති ඇතැම් අත්දැකීම් පිළිබඳව හිටපු සභාපතිවරයා සිදුකළ දැනුම්දීම සලකා බලා සුදුසු කොන්දේසි සහිතව අවසර ලිපියක් නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවත් එම උපදෙස්වලට අනුකූලව ඉකුත් 09 වැනි දින පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට ලිපියක් යැවීමට හිටපු සභාපතිවරයා කටයුතු කළ බවත් ය.
පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම ලිපිය නිකුත් කිරීම ජනවාරි මුල් සතිය තුළදී සිදුවූ බවත් දක්වා ඇති අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දන්වා ඇත්තේ මේ කරුණ සම්බන්ධව අමාත්‍යවරයා සහ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා අතර කිසිදු මත ගැටුමක් සිදුව නොමැති බවයි.
තවද ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් හා තවත් කරුණු කිහිපයක අවශ්‍යතාවය මත සභාපති තනතුර පිළිබඳව තීරණයක් ගැනීමට සිදුව ඇති අවස්ථාවක අමාත්‍යවරයා සහ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා හා ඉකුත් 21 වන දින සාකච්ඡාවක් කළ බවත් ඒ අනුව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා අඳාළ තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දක්වා ඇත.
එබැවින් පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට යවන ලද ලිපිය හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට කිසිදු ආකාරයකින් සම්බන්ධතාවක් නොමැති බවත් අමාත්‍යාංශය සිය නිවේදනය ඔස්සේ වැඩිදුරටත් සඳහන් කරයි.
ගුවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව by poornima