දකුණු අප්‍රිකාවේ බිහිසුණු වෙඩි තැබීමක් - දුරකථන කොල්ලකා වාහන දෙකකට ගිනි තබා ත තුවක්කුකරුවන් 8ක් පලා යයි

Report

ජොහැන්නස්බර්ග් නගරයට බටහිරින් පිහිටි මත්පැන් හලකදී  සන්නද්ධ පුද්ගලයින් අට දෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගවුටෙන්ග් පොලීසිය සැකකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

දකුණු අප්‍රිකානු පොලිස් සේවය (SAPS) සඳහන් කළේ, වෙස්ට් රැන්ඩ් දිස්ත්‍රික්කයේ වෙඩෙලාහි එක්ස්ටෙන්ෂන් 3 ප්‍රදේශයේ පිහිටි මත්පැන් හලකදී රාත්‍රී 9.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

පිස්තෝල සහ AK-47 වර්ගයේ රයිෆල්වලින් සන්නද්ධව පැමිණි සැකකරුවන් පළමුව මත්පැන් හලෙන් පිටත සිටි පාරිභෝගිකයින්ට වෙඩි තබා ඇති අතර, අනතුරුව එහි ඇතුළතට ගොස්ද වෙඩි තැබීම් සිදුකර තිබේ. වෙඩික්කරුවන් පාරිභෝගිකයින් කිහිපදෙනෙකු පරීක්ෂා කර ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන රැගෙන ගොස් ඇති අතර, පසුව හඳුනා නොගත් වාහන දෙකකින් එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය අතරතුර තවත් වාහන දෙකකටද ගිනි තබා විනාශ කර තිබේ. වෙඩිතැබීමෙන් පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර, හදිසි වෛද්‍ය සේවා නිලධාරීන් විසින් මියගිය 17 දෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව තහවුරු කර ඇත.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් නිලධාරී ටින්ට්ස්වාලෝ සිබෙකෝ සඳහන් කළේය. සැකකරුවන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් සහ විශේෂිත පොලිස් ඒකක කිහිපයක් යොදවා ඇති බවද ඔහු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා 17ක්, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 15ක් සහ දේපළවලට හිතාමතා හානි කිරීමේ චෝදනා දෙකක් යටතේ විමර්ශන සිදුකෙරේ.

මේ වනවිට කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. විමර්ශන සඳහා වැදගත් වන තොරතුරු දන්නා පුද්ගලයින්ට 08600-10111 දරන 'ක්‍රයිම් ස්ටොප් ලයින්' අංකයට දැනුම් දෙන ලෙස හෝ 'MySAPS' යෙදුම හරහා නිර්නාමිකව තොරතුරු ලබාදෙන ලෙස දකුණු අප්‍රිකානු පොලිස් සේවය ඉල්ලා සිටී.

මේ අතර, ඉරිදා අලුයම කේප් ටවුන්හි ල්වන්ඩ්ලේ ප්‍රදේශයේ පිහිටි 'ෂිසාන්යාමා' ආපනශාලාවකද වෙනත් වෙඩිතැබීමක් සිදුව තිබේ. අලුයම 1.46ට පමණ සන්නද්ධ පුද්ගලයින් පිරිසක් එහි සිටි පාරිභෝගිකයින්ට වෙඩි තබා ඇති අතර, එම සිද්ධියෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

ඒ අනුව, දකුණු අප්‍රිකාවේ එකම දිනයක් තුළ සිදුවූ මෙම වෙඩිතැබීම් දෙකෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි මතක් කිරීමක්

බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි මතක් කිරීමක්

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර