රැකියා අපේක්ෂිතයින්ට සුබ ආරංචියක්- 2026දී රාජ්‍ය සේවයට 120,000ක් ගන්න පුළුල් සැලසුමක්
2026 වසර තුළ රාජ්‍ය සේවයට පුද්ගලයින් 120,000කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනීමේ පුළුල් වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකර්මය ඇතුළු රාජ්‍ය අංශයේ පවතින පුරප්පාඩු පිරවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
ඒ යටතේ ගුරුවරුන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විභාගයෙන් සමත් වන අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිත අතර, බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සිදු කර ඇති බව ඔහු පැවසීය. මේ අතර, ග්‍රාම නිලධාරීවරුන් 1,500කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනීමේ ක්‍රියාවලියද අවසන් අදියරට පැමිණ තිබේ.
ඊට අදාළ විභාග සහ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇති අතර, සාර්ථක අපේක්ෂකයින් වෙත පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා මේ වන විට කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය හා කෘෂිකර්ම ඇතුළු රාජ්‍ය සේවයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු පිරවීම සඳහාද ඉදිරියේදී බඳවා ගැනීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අමාත්‍ය චන්දන අබේරත්න මහතාට අනුව, 2025 වසරේදී උපාධිධාරීන් සහ සුදුසුකම් ලත් අනෙකුත් තරුණ තරුණියන් ඇතුළු පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවාගෙන තිබේ.
ඒ අනුව, රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රියාත්මක පුළුල් වැඩසටහන යටතේ 2026 වසරේදී 120,000කට අධික පිරිසක් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වීඩියෝ දර්ශන උපුටා ගන්නා ලදි