ධාරානිපාත වැස්සෙන් නකල්ස් රක්ෂිතයේ අලංකාරය දෙගුණ වෙයි- ජෝඩු ඇල්ල, සාරි ඇල්ල සහ හුළුගඟ දියඇල්ල පූර්ණ ලෙස සක්‍රීයයි
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයට අයත් දියඇලි රැසක් මේ වන විට සක්‍රීය වී අතිශය සුන්දර දසුන් මවමින් පවතී.
පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශවල පිහිටි මෙම දියඇලි බොහොමයක් පූර්ණ ලෙස ගලා බසින්නේ අධික වර්ෂාපතනයක් පවතින කාලසීමාවලදී පමණක් වීම විශේෂත්වයකි.
මහනුවර සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි හුළුගඟ නගර මධ්‍යයෙන් ගලා බසින හුළුගඟ දියඇල්ල මීටර් 45ක් පමණ උසකින් යුක්ත වේ.
මීට අමතරව, පන්විල තවලන්තැන්න ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි සාරි ඇල්ල දියඇල්ල මීටර් 25ක් පමණ උසකින් යුක්තය.
සුදු සේලයක් මෙන් පහළට කඩාහැලෙමින්, සුළඟට මීදුමක් මෙන් විසිරී යන ස්වභාවය හේතුවෙන් මෙම දියඇල්ල “සාරි ඇල්ල” ලෙස හැඳින්වෙන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
එමෙන්ම, වත්තේගම–බඹරැල්ල මාර්ගයේ තවලන්තැන්න ප්‍රදේශයේ පිහිටි ජෝඩු ඇල්ල දියඇල්ල මීටර් 45ක් පමණ උසකින් යුක්ත වේ.
එකිනෙකට සමාන දියඇලි දෙකක් ලෙස එකවර පහළට කඩාහැලීම හේතුවෙන් එය “ජෝඩු ඇල්ල” ලෙස හැඳින්වෙන බව සඳහන් වේ.
අධික වර්ෂාවත් සමඟ සක්‍රීය වී ඇති මෙම දියඇලි මේ වන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද අවධානය දිනාගෙන ඇති අතර, දුම්බර නකල්ස් කඳුකරයේ ස්වභාවික සුන්දරත්වය තවදුරටත් ඉස්මතු කරයි.