''ලක්ෂ ගණනක ණයකින් වැසෙන්න ගිය ආපනශාලාවක්'' විරාත් කෝලිගේ බිරිඳ අනුෂ්කාගේ ඕඩරයෙන් කෝටි ගණනක ලාභ ලබපු හැටි
මුම්බායිහි චෙම්බූර් ප්‍රදේශයේ කුඩා චෝලේ භතුරේ අවන්හලක් වසා දැමීමට ආසන්නව තිබියදී, ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙකුගේ සම්බන්ධ වීමත් සමඟ එහි ව්‍යාපාරය විශාල ලෙස ඉහළ ගොස් ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
‘Delhi Se’ නමින් හැඳින්වෙන මෙම අවන්හල 2021 වසරේදී සහෝදරයන් වන ජස්පාල් සිං ඛල්සා සහ මහින්දර් සිං ඛල්සා විසින් ආරම්භ කර තිබෙනවා. වර්ග අඩි 250ක පමණ කුඩා ස්ථානයක මේස තුනක් සහ ආසන 9ක් පමණක් සහිතව ආරම්භ කළ මෙම ව්‍යාපාරය, මේ වනවිට මුම්බායි සහ නවි මුම්බායි ප්‍රදේශවල ශාඛා හතරක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.
කෙසේ වෙතත්, ආරම්භයෙන් මාස කිහිපයකට පසු එහි අලෙවිය පහත වැටී ඇති අතර, 2022 සැප්තැම්බර් වන විට අවන්හල රුපියල් ලක්ෂ 18ක පමණ ණයකටද මුහුණ දී තිබුණා.
එම තත්ත්වය හමුවේ ව්‍යාපාරය වසා දැමීමට සහෝදරයන් සූදානම් වී සිටියදී, ප්‍රහසන ශිල්පී අභිෂේක් උපමන්යු එම අවන්හලට පැමිණ චෝලේ භතුරේ ආහාරයට ගෙන තිබෙනවා.
2022 සැප්තැම්බර් 13 වැනිදා ඔහු එම අවන්හලේ ආහාර අනුභව කර ඇති අතර, පසුව සිය Instagram ගිණුම හරහා එය නිර්දේශ කර තිබුණා. අවන්හලේ හිමිකරුවන් පවසන්නේ උපමන්යු කවුරුන්ද යන්න මුලදී තමන් නොදැන සිටි බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ නිර්දේශයෙන් පසු අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.
"හිත් ඇති මිනිසුන් ද හිත් නැති නරුමයන් ද ගැවසෙන දූපතක අපේ ආදරය තව තව දිදුලයි" - විවාහයෙන් පසු කලණ ගුණසේකර ෆේස්බුක් හි තැබූ හැඟීම්බර සටහන
අනුෂ්කාගෙන් චෝලේ භතුරේ පිඟන් දෙකකට ඇණවුමක්
උපමන්යුගේ නිර්දේශයෙන් පසුව තවත් අනපේක්ෂිත සිදුවීමක් සිදුව තිබෙනවා.
අනුෂ්කා ශර්මාගේ නිවසින් යැයි පැවසූ කාන්තාවක් චෙම්බූර්හි අවන්හලට දුරකථන ඇමතුමක් ලබාදී ජුහු ප්‍රදේශයට චෝලේ භතුරේ පිඟන් දෙකක් ලබාදෙන ලෙස ඇණවුම් කර තිබුණා.
එක් පිඟානක මිල එවකට ඉන්දීය රුපියල් 120ක් වූ අතර, චෙම්බූර් සිට ජුහු දක්වා ගමන් කිරීමට වැයවන මුදල ඇණවුමේ වටිනාකමට වඩා වැඩි විය හැකි බැවින් හිමිකරු මුලදී එය විහිළුවක් බවට සැක කර තිබෙනවා.
ඇණවුම ලබාදුන් කාන්තාව අමතර බෙදාහැරීමේ වියදම ගෙවන බවත්, ඒ සඳහා බැංකු තොරතුරු ලබාදෙන ලෙසත් පැවසීමත් සමඟ ඔහුගේ සැකය තවත් වැඩි වී තිබුණා.
අවසානයේ ඇය තමන් විරාට් කෝලිගේ නිවසින් ඇමතුම් ලබාදෙන බව හෙළි කර තිබෙනවා. කෙසේ වෙතත්, කුඩා චෙම්බූර් අවන්හලකට විරාට් කෝලිගේ නිවසින් ඇණවුමක් ලැබීම විශ්වාස කිරීමට තමන්ට අපහසු වූ බව ජස්පාල් පවසා තිබෙනවා.
2022 ඔක්තෝබර් 5 වැනිදා එම ආහාර ඇණවුම ලබාදීමට කටයුතු කර තිබුණා.
අනුෂ්කාගේ Instagram සටහනෙන් පසු විශාල පාරිභෝගික රැල්ලක්
ආහාර ලබාදී අවන්හලට පැමිණි පසු, ඇණවුම ලබාදුන් කාර්ය මණ්ඩල සාමාජිකාවක් ජස්පාල්ගෙන් ඔහු Instagram භාවිත කරන්නේද, විරාට් කෝලි හෝ අනුෂ්කා ශර්මා අනුගමනය කරන්නේද යන්න විමසා තිබෙනවා.
අනතුරුව ඇය අනුෂ්කා ශර්මා පළ කළ Instagram සටහන ඔහුට යොමු කර තිබුණා. මුම්බායිහිදී දිල්ලි ආකාරයේ සැබෑ චෝලේ භතුරේ සොයා ගැනීමට හැකිවීම පිළිබඳව අනුෂ්කා එම සටහනෙන් සිය සතුට පළ කර තිබූ අතර, විරාට් කෝලිගේ චෝලේ භතුරේ කෙරෙහි ඇති කැමැත්ත ගැනද සඳහන් කර තිබුණා.
මෙම අවන්හල හඳුන්වා දුන්නේ අභිෂේක් උපමන්යු බවද ඇය සඳහන් කර තිබුණා. එම Instagram සටහන පළ කිරීමෙන් පසුව අවන්හල ඉදිරිපිට විශාල පිරිසක් එක්රැස් වී ඇති බව හිමිකරුවන් පවසනවා.
හදිසියේ ඇති වූ විශාල පාරිභෝගික ඉල්ලුම හේතුවෙන් අවන්හලට ආහාර සපයා ගැනීම පවා අසීරු වී තිබුණා. ඇතැම් පාරිභෝගිකයන් එකවර චෝලේ භතුරේ පිඟන් 6ක් හෝ 10ක් දක්වා ඇණවුම් කර තිබූ බව සඳහන්.
ඇතැම් පාරිභෝගිකයන් පිඟන් දෙකක් හෝ තුනක් ලබාගැනීම සඳහා පැය දෙකකට වැඩි කාලයක් බලා සිටි බවද හිමිකරු පවසා තිබෙනවා. දින තුනක් ඇතුළත දිනකට සකස් කළ චෝලේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 8ක පමණ සිට කිලෝග්‍රෑම් 100ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
ශාඛා හතරක් දක්වා ව්‍යාප්ත වූ ‘Delhi Se’ අද වනවිට ‘Delhi Se’ අවන්හල චෙම්බූර්, මුලුන්ඩ්, අන්දේරි වෙස්ට් සහ වාෂි යන ප්‍රදේශවල ශාඛා හතරක් පවත්වාගෙන යන බව වාර්තා වනවා.
හිමිකරුවන් පවසන පරිදි, එම ශාඛා හතර හරහා දිනකට චෝලේ භතුරේ පිඟන් 3,000කට වැඩි ප්‍රමාණයක් අලෙවි කෙරෙනවා. ව්‍යාපාරය දුෂ්කර තත්ත්වයක පැවති සමයේ මාසික අලෙවිය ඉන්දීය රුපියල් ලක්ෂ 1ත් 1.5ත් අතර මට්ටමක පැවති බවත්, මේ වනවිට එය මසකට ඉන්දීය රුපියල් කෝටි 2ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත් හිමිකරුවන් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම දිනකට භාවිත කරන චෝලේ ප්‍රමාණයද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට දිනකට අමු චෝලේ කිලෝග්‍රෑම් 125ක් පමණ පොඟවා සකස් කරන බවද ඔවුන් පවසනවා. ඒ අනුව, වසා දැමීමට ආසන්නව තිබූ කුඩා අවන්හලක්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සමාජ මාධ්‍ය නිර්දේශයකින් පසු දිනකට පිඟන් දහස් ගණනක් අලෙවි කරන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.