“විද්‍යා පීඨවලට මේ ආණ්ඩුවෙන් කරන්න යන දේ මොකක්ද?” - අගමැතිනි හරිනි අමරසූරිය හෙළිකරයි
රටේ ගුරු අවශ්‍යතාවයට ගැළපෙන පරිදි විද්‍යා පීඨ සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ ආචාර්ය වී.එස්. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා විද්‍යා පීඨවල පවතින ගැටලු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
විද්‍යා පීඨ සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල් අනිවාර්යයෙන්ම වියදම් කරන බවත්, ඒ සඳහා වසර පහක සැලැස්මක් සකස් කර අනුමැතිය ලබාගෙන ඇති බවත් අගමැතිනිය සඳහන් කළාය.
එහිදී විශේෂයෙන් ශ්‍රී පාද විද්‍යා පීඨය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිනිය, වතුකරයේ පාසල් සඳහා දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ අවශ්‍යතාව වැඩි කරගැනීමේ සැලැස්මකට අනුව එම කටයුතු සිදුකරන බව පැවසුවාය.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසුවාය.
“ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අනිවාර්යයෙන්ම අපි වෙන් කරපු මුදල් අපි වියදම් කරනවා. අපි මේක සැලසුම්සහගතව කරන්නේ. අපිට එකක්, අපි පොදුවේ විද්‍යා පීඨ දියුණු කරන්න සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී පාද විද්‍යා පීඨය, මොකද අපිට වතුකරයේ පාසල්වලට දෙමළ මාධ්‍යයේ ගුරුවරු වැඩි කරගන්න සැලැස්මක් අනුව තමයි මේක කරන්නේ. ඒකයි අපි අවුරුදු පහක සැලැස්මක් හදලා ඉදිරිපත් කරලා, ඒකට අනුමැතිය ලබාගෙන ඒ අනුව අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි පටන්ගත්ත වැඩ අනිවාර්යයෙන්ම අපි කරනවා. 2022 මෙතුමා කියන එක ගැන මට ලොකු අවබෝධයක් නැහැ. මං ඒක හොයලා බලන්නම්. ඒක අධ්‍යාපනය වෙනුවෙන් අපිට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා නම්, අපි ඒක කතා කරලා බලන්නම්.”