අගමැති හරිනි දිවයිනෙන් පිටව ගිහින් - හේතුව මෙන්න
22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇත.
එම නිල සංචාරය අතරතුර, අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යයනය, පර්යේෂණ සහයෝගීතාව සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය හා රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට අග්‍රාමාත්‍යතුමිය සහභාගී වීමට නියමිත බව සඳහන්.
එසේම එහිදී අග්‍රාමාත්‍යතුමිය බ්‍රිතාන්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදී එරට අධ්‍යාපන ලේකම් (අමාත්‍ය) බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson) මහත්මිය හමුවී අධ්‍යාපන සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් (අමාත්‍ය) ඉවෙට් කූපර් (Yvette Cooper) මහත්මිය සමඟ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන්.
ඊට අමතරව 22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සමගාමීව, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් ජනරාල් ෂර්ලි අයෝර්කර් බොච්වේ (Shirley Ayorkor Botchwey) මහත්මිය හමුවීමට ද නියමිතයි.
ඉන්පසු සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ (IDS) පැවැත්වෙන විශේෂ උත්සවයකට අග්‍රාමාත්‍යතුමිය සහභාගී වන අතර, එම ආයතනයේ 60 වැනි සංවත්සර උත්සවයට සහභාගී විමට ද නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය හා කලාපීය අධ්‍යයන අංශය ඇමතීමට නියමිත අතර පසුව එහි සිටින විද්වතුන් සහ සිසුන් සමඟ පැවැත්වෙන ප්‍රශ්නෝත්තර සැසියකට ද දායක වීමට නියමිත බව සඳහන්.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මෙම සංචාරයෙන් අධ්‍යාපනය, පර්යේෂණ, ප්‍රතිපත්ති සංවාද සහ කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හිදී ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වේ.



