නිහඬ හඬට නව ජීවයක් - සංඥා භාෂා පරිවර්තකයන්ට රජයෙන් විශේෂ පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

Report

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනවල සංඥා භාෂා පරිවර්තක පුරප්පාඩු සඳහා අයදුම් කළ අපේක්ෂකයන් අතුරින්, ලිඛිත හා සම්මුඛ පරීක්ෂණවලින් සුදුසුකම් ලබාගත් පරිවර්තකයන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (22) සිදු කෙරිණි.

මෙම අවස්ථාව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ සංඥා භාෂාව ද ප්‍රධාන භාෂාවක් ලෙස පිළිගැනීම වැදගත් බවයි.

ඒ සඳහා සංඥා භාෂා පරිවර්තකයන්ට විශේෂ වගකීමක් පැවරෙන අතර, මෙය රැකියාවකට එහා ගිය සේවාවක් ලෙස සලකා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමාජ සේවා අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය සහ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.