අපි ආර්ථිකය ස්ථාවර කරලා ජනතාවගේ වාහන සිහිනය සැබෑ කළා - ආණ්ඩුවේ හොඳ වැඩ ලිස්ට් එක දිගාරින නලින්
ගෙවී ගිය වසර එකහමාරක වැනි කෙටි කාලයක් තුළ රජය විසින් මෙරට ආර්ථිකය ස්ථාවර කර ජනතාවගේ වාහන සිහිනය සැබෑ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව උත්සව සභාවක් අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ වසර පහක පමණ කාලයක් තිස්සේ නතර කර තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කරමින් ඉකුත් වසරේ පමණක් ඩොලර් බිලියන 2ක වාහන ආනයනය කර තිබෙන බවයි.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ බංකොලොත් වූ රටක් වශයෙන් අපකීර්තියට පත්ව තිබූ අවදියක, 2025 වසර සඳහා ගෙවිය යුතු ඩොලර් බිලියන 5.1ක ණය වාරිකයද ගෙවීමට රජය සමත් වූ බවත්, ඒ අතරතුර ජනතාවට සහන රැසක් දීමට කටයුතු කළ බවත් ය.
තවද රාජ්‍ය සේවකයින් ලක්ෂ 13කට අධික පිරිසකගේ වැටුප් වසර තුනක් අඛණ්ඩව වැඩි කිරීමට පියවර ගෙන තිබෙන බවත්, ඒ යටතේ මේ වන විටත් අදියර දෙකකින් බිලියන 220ක් වැටුප් සඳහා වෙන් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 2000 සිට 3000 දක්වාත්, වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1350 සිට 1750 දක්වාත් වැඩි කර ඇති බවත් පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන පොත්පත් සහ ඇඳුම්වලට අමතරව රුපියල් 6500ක දීමනාවක් ලබා දීමටත්, විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 සිට 10,000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමටත් රජය කටයුතු කර ඇති බව ඔහු තවදුරටත් පවසා ඇත.
ඊට අමතරව 'අස්වැසුම' ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 දක්වා වැඩිකර තිබෙන බවත්, වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වාත්, ආබාධිත දීමනාව රුපියල් 25,000 දක්වාත් ඉහළ නංවා ඇති බවත් ප්‍රකාශ කළ ඔහු ආර්ථිකය විනාශ වීමට බලපෑ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට රජය පියවර ගත් බව ද සඳහන් කර තිබෙනවා.
නලින් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කුඩා විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබා නොගැනීම සහ වෛද්‍ය රක්ෂණ ගාස්තු අඩු කිරීම වැනි පියවර ඔස්සේ රජය ආදර්ශයක් දී ඇති බවයි.
එමෙන්ම මැදපෙරදිග යුද්ධය, ස්වභාවික විපත් සහ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද රටෙහි පෝලිම් යුගය අවසන් කර ප්‍රශ්න විසඳීමට රජය කැපවී සිටින බව ද ඔහු පවසා ඇත.