ටිල්වින්ගේ ප්‍රකාශයට දැවැන්ත විරෝධයක් - ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් බවට නිවේදනයක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වෙන් කළ මුදල්වලින් කොටසක් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි සඳහා වෙන් කිරීමට සිදු වූ බැවින් මේ වසරේ මැතිවරණය පැවැත්විය නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉකුත් දා කළ ප්‍රකාශය හෙළා දකිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ පළාත් සභා මැතිවරණය යළි පැවැත්වීම, පවතින රජය බලයට පත්වීම සඳහා ජනතාවට ලබා දුන් පොරොන්දුවක් බවත් ජනතාවාදී ආණ්ඩුවක් යනුවෙන් කියමින් ජනතාව ඉදිරියේ දුන් පොරොන්දුවක් වෙනස් කිරීම සුදුසු නොවන බවත් ය.
එසේම ඉකුත් 2023 වසරේදී රනිල් වික්‍රමසිංහ පාලනය මඟින් පළාත් පාලන මැතිවරණය කල්දැමූ අවස්ථාවේ එවක විපක්ෂයේ සිටි වර්තමාන රජයේ නියෝජිතයින් එය ප්රජාතන්ත්ර විරෝධී බව සඳහන් කරමින් ඊට දැඩි විරෝධයක් එල්ල කළ බව සිහිපත් කරන කැෆේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව සිදුකරන්නේද ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් බවයි.