ගෝඨාභය රාජපක්ෂට අපහාස කළ ලොක්කෙක්ට වැඩ වරදී
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (7 වැනිදා) වරද පිළිගත්තේය.
වරද පිළිගත් දුමින්ද සෙනරත් නමැති සැකකරුට දැඩි ලෙස අවවාද කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග, අදාළ සැකකරු නඩුවෙන් මුදා හරින ලෙස තීන්දු කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ නීතිඥ ලලිත් පතිරණගේ කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බැවින්, ඔහුට දඬුවමකින් තොරව අවවාද කර මුදා හරින ලෙස ඉල්ලා සිට ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේ, මෙම සැකකරු විසින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බවයි.
ඉකුත් අරගල සමයේදී සැකකරු විසින් පවත්වාගෙන ගිය ෆේස් බුක් පිටුවක් ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළ හොත් රට පුරා කාති උසාවි 100 ක් පිහිටුවන බවට ඇමැති අලි සබ්රිට පොරොන්දු වී ඇති බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් පළකර ඇති අතර, ඊට අදාළව වරද පිළිගැනීමට සැකකරු සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියහ. කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, සැකකරුට අවවාද කරමින් එම නඩුවෙන් ඔහු මුදාහරින ලෙස නියම කළාය.