වැලිගම සභාපති ලසන්තගේ අවසන් කටයුතු අද
ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදී පැවැත්වේ. ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය අද දින උදෑසන 11 ට වැලිගම ප්‍රාදේශීය සභාව වෙත රැගෙන යාමට ද නියමිතව ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සිය කාර්යාලය තුලදීම වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය බදාදා වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.
විමර්ශන නිලධාරීන් වාර්තා කර ඇත්තේ ඝාතනයේ විමර්ශන මේ වන විට සාර්ථකව සිදුකෙරෙමින් පවතින අතර සැකකරුවන් පිළිබද තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බවයි.
එමෙන්ම වෙඩික්කරු සහ ඝාතනයට පැමිණි අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් ද මේ වන විටත් තොරතුරු හෙළිවී ඇති බවයි විමර්ශන නිලධාරින් පැවසුවේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු අධීක්ෂණය යටතේ පත් කෙරුණු පොලිස් කණ්ඩායම් සී.සී.ටී.වී සහ දුරකතන විශ්ලේෂන වාර්තා ඇතුලු තොරතුරු පදනම් කරගෙන තවදුරටත් විමර්ශන සිදු කරයි.
විමර්ශන නිලධාරීන් පවසන්නේ දර්ශනවලට අනුව යතුරුපැදිවල අංක තහඩු පැහැදිලිව නොපෙනීම නිසා ඒවායේ හිමිකරුවන් පිළිබඳව තවමත් තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකි නමුත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු තවමත් දකුණු පළාත තුළම සැඟව සිටින බවට ද පොලිසිය සැක කරන බවයි.
මේ හේතුවෙන් ඊයේ දිනය පුරා දකුණු පළාතම ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් ද පොලිසිය විසින් සිදුකරණ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේදීත් දේශපාලඥයින් ඇතුලු පිරිස් පැමිණ ඇත.