ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ ගියත් ලංකාවෙ තෙල් මිල අඩු කරන්න බෑ - IMF එකඟතා අනුව සියලුම බලශක්ති සහනාධාර.. ඉවත් කරනවා - මුදල් රාජ්‍ය ඇමති
මුදල් රාජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ ගියද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් තවදුරටත් දැනට පවතින මට්ටමේම ටික කාලයක් පවත්වාගෙන යාමට සිදුවනු ඇති බව ප්‍රකාශ කරයි.
රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී රජය මඟින් ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ලබාදීමේ වැඩසටහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ බවයි.
ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ආරම්භ වූ මෙම සහනාධාර වැඩසටහන ලබන ජූනි මාසයෙන් අවසන් වීමට නියමිත බව සඳහන්. එසේම මෙතෙක් රජය මඟින් සහනාධාරයක් ලබා දෙමින් ඉන්ධන මිල පාලනය කර තිබීම ලෝක වෙළෙඳපොළේ මිල ගණන් පහළ ගියද මෙරට මිල ගණන් අඩු නොවීමට බලපාන ප්‍රධාන හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම ජූනි මාසයෙන් පසු එම සහනාධාරය ලබා නොදීමට තීරණය කළහොත්, ලෝක වෙළෙඳපොළේ මිල අඩුවීමේ වාසිය සහ සහනාධාරය ඉවත් කිරීමේ බලපෑම එකිනෙක සමනය වී ඉන්ධන මිල දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පැවතීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු පවසයි.
ඊට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍ය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වන විට රජයේ ආදායම් තත්ත්වය යහපත් මට්ටමක පවතින බවත්, අපේක්ෂිත රාජ්‍ය ආදායම සියයට 100-120ත් අතර ප්‍රමාණයකින් රැස්කර ගනිමින් සිටින බවත් ය.
කෙසේ වුවද ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව සියලුම බලශක්ති සහනාධාර සහ අනෙකුත් සහන පියවර සැප්තැම්බර් මස අග වන විට ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය බැඳී සිටින බවයි.
එබැවින් ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ මිල ගණන් තවදුරටත් පහළ ගියහොත් පමණක් එම සහනය ජනතාවට ලබාදීම පිළිබඳව සලකා බැලිය හැකි බවත්, බාහිර සාධක මත මිල ගණන් අනපේක්ෂිත ලෙස ඉහළ ගියහොත් ඒ වෙනුවෙන් මැදිහත් වීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.