පෙරටුගාමීගෙන් ආණ්ඩුවට ප්‍රභල අභියෝගයක්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුව ඇති විනාශය සැලකිල්ලට ගනිමින්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ බලපෑම් පිළිබඳ රජය සෘජු හා පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂය පෙන්වා දෙන්නේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් පිරිසක් විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳ ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
සුළි කුණාටුවෙන් ඇතිවූ බලපෑම් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්, නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින් 121 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණි.
එම නිවේදනයේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී ඇති හදිසි ආර්ථික අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් ලබාගෙන ඇති අතර, ඉදිරියේදී තවත් ණය ලබාගැනීමට සිදුවිය හැකි බවයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ බාහිර ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවා, නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන ලෙස එම විශේෂඥයින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සඳහන් කළේ, මෙම ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින්ගේ නිවේදනය ආණ්ඩුව විසින් ගැඹුරු අවධානයෙන් සලකා බැලිය යුතු බවයි.