ධීවර ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් - ලංකාවේ මිරිදිය ඉස්සන් අස්වැන්න වාර්තාගත ලෙස ඉහළට
2025 අයවැය මගින් මිරිදිය ඉස්සන් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස මෙරට මිරිදිය ඉස්සන් අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ නැංවීමට හැකි වී ඇති බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සදහන් කර තිබේ .
එම ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 175ක් යාපනයේ චුල්ලිපුරම් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනාගාරයක් ඉදිකිරීම සඳහා වෙන් කර ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 25 මිරිදිය ඉස්සන් වගාව ප්‍රවර්ධනය කිරීමේ පර්යේෂණාත්මක නියමු ව්‍යාපෘතිය සඳහා යොදවා ඇත.
ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ජලාශ 25ක කූඩු ක්‍රමය භාවිත කරමින් ඉස්සන් වර්ධනය කර පසුව ජලාශවලට මුදාහැරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වේ . මෙහි ප්‍රධාන ජයග්‍රහණය වන්නේ මිරිදිය ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ යාමයි.
සාම්ප්‍රදායික ක්‍රමයට අනුව ඉස්සන් පසුකීටයින් සෘජුවම ජලාශවලට මුදාහැරීමේදී ජීව්‍යතා ප්‍රතිශතය සියයට 1 සිට 3 දක්වා පමණක් පැවති අතර, සීනෝර් (Cey-Nor) ආයතනය නිෂ්පාදනය කළ විශේෂ රවුම් දැල් කූඩු තුළ සති හයක කාලයක් ඉස්සන් පැටවුන් පෝෂණය කර වර්ධනය කිරීමෙන් අනතුරුව ජලාශවලට මුදාහැරීමේ නව ක්‍රමවේදය හරහා එය සියයට 40 සිට 55 දක්වා ඉහළ නැංවීමට හැකිය .
මෙම වැඩසටහනේ තෙවැනි අදියර ලෙස මොණරාගල කිරිඉබ්බන් වැව ජලාශයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියෙන් සියයට 55ක ජීව්‍යතා ප්‍රතිශතයක් වාර්තා වී ඇති අතර, මීට පෙර ගිරිතලේ, අක්කරායන්කුලම් සහ පුදුමුරිප්පු ජලාශවලින් ද සාර්ථක ප්‍රතිඵල හිමිව ඇත.
තවද මෙම සතිය තුළ අනුරාධපුර මහකනදරාව සහ නාච්චාදූව ජලාශවලට ද මෙලෙස වර්ධනය කළ මිරිදිය ඉස්සන් මුදාහැරීමට නියමිත බව NAQDA සඳහන් කර තිබේ .
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ තාක්ෂණික මගපෙන්වීම සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රෑම් 300 ඉක්මවූ උසස් තත්ත්වයේ මිරිදිය ඉස්සන් අපනයන වෙළෙඳපොළට සහ දේශීය සංචාරක හෝටල් කර්මාන්තයට සැපයීම අපේක්ෂා කරනු ලබයි.
උතුරු පළාත, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මොණරාගල සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක රැසක ධීවර සමිති මෙම ව්‍යාපෘතියට සක්‍රීයව දායකත්වය ලබාදෙන අතර, ධීවර ප්‍රජාවගේ ආදායම් ඉහළ නැංවීම සහ විදේශ විනිමය උපයන කර්මාන්තයක් ලෙස මිරිදිය ඉස්සන් වගාව දියුණු කිරීම රජයේ අපේක්ෂාව බව ද අධිකාරිය සඳහන් කර ඇත.