හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය බොරැල්ල කනත්තට රැගෙන යයි
වෙඩි වැදීමකින් අභාවප්‍රාප්ත වූ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය අවසන් කටයුතු සඳහා මේ වන විට බොරැල්ලේ පිහිටි ජයරත්න පෞද්ගලික මල් ශාලාවේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යමින් පවතී.
හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව අද (20) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මිය යන විට 63 වැනි වියේ පසුවිය.
ඔහු පසුගිය සිකුරාදා තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්විය. 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.
2019 අප්‍රේල් 28 වැනිදා සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2020 නොවැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි. සේවා දිගු කිහිපයකින් අනතුරුව සී.ඩී. වික්‍රමරත්න මහතා 2023 නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ලැබීය.