“මුලින් දැනගත් විට මම ඇඬුවා" - ලෝක ප්‍රකට පාපන්දු තරුව ඩේවිඩ් බෙකම්ට චාල්ස් රජු විසින් නයිට් පදවිය
හිටපු පාපන්දු තරු ඩේවිඩ් බෙකම් මහතා III වන චාල්ස් රජු අතින් වින්ඩ්සර් මාලිගයේදී නිල වශයෙන් නයිට් පදවිය (Sir David Beckham) ලබාගත්තේය.
ක්‍රීඩාවට සහ පුණ්‍ය කටයුතුවලට කළ දායකත්වය වෙනුවෙන් ලැබූ මෙම ගෞරවය ඔහුගේ දිගුකාලීන සිහිනයක් සැබෑ කළේය.
50 හැවිරිදි බෙකම්, බිරිඳ වික්ටෝරියා ආර්යාව (දැන් Lady Victoria Beckham), දෙමාපියන් ටෙඩ් සහ සැන්ඩ්‍රා ඇතුළු පවුලේ සමීපයන් සමඟ උත්සවයට සහභාගී විය. ඔහු රජු වරක් පැළඳ සිටි ඇඳුමකින් ආභාෂය ලබාගත් වික්ටෝරියා නිර්මාණය කළ අළු පැහැති තුන් කෑලි ඇඳුමකින් සැරසී සිටියේය.
“රජතුමා මගේ ඇඳුම ගැන ඉතා පැහැදුණා. ඔහු මම දන්නා වඩාත්ම අලංකාර ලෙස ඇඳපැළඳ සිටින මිනිසා. වසර ගණනාවක් පුරා මගේ පෙනුමට ඔහුගෙන් බොහෝ ආභාෂයක් ලැබුණා”
යැයි බෙකම් පැවසීය.
උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ ශ්‍රීමත් ඩේවිඩ් මෙම මොහොත ගැඹුරු චිත්තවේගීය එකක් ලෙස විස්තර කළේය.
“මුලින් දැනගත් විට මම ඇඬුවා. මාස කිහිපයකට පසුවත් එය තවමත් එලෙසමයි. එය ආතතියක් නොවේ, හැඟීම්බර එකකි. මට එය ලැබෙන්නේ මගේ අම්මාගෙන්! මගේ පවුලට මෙය ලොකු මොහොතකි. ඉතා විශේෂයි”
ඔහු පිළිගත්තේය.
මෙම වසර මුලදී රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුවේ නම් කෙරුණු බෙකම් පැවසුවේ, මෙම පදවිය ඔහුගේ පාපන්දු ජීවිතය සහ පුණ්‍ය කටයුතු යන දෙකම සැමරූ ගමනක කූටප්‍රාප්තියක් බවයි.
