17 වැනි රණවිරු සැමරුමේදී ඉතිහාසයේ පළමු වරට සිදුවන සුවිශේෂී වෙනස
යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර උත්සවයට විශේෂත්වයක් එක් කරමින්, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල යුද්ධයේදී දිවි පිදූ ද්‍රවිඩ හා මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන් ද පළමු වරට සහභාගි කරවා ගැනීමට කටයුතු කර ඇති බව රණවිරු සේවා අධිකාරිය පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා සඳහන් කළේ, මෙවර සැමරුම් උත්සවයේදී රණවිරු පවුල්වල සහභාගිත්වය වැඩි කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ත්‍රිවිධ හමුදාවට එක්වී රටේ නිදහස වෙනුවෙන් කැපවූ ද්‍රවිඩ හා මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන් 30 දෙනෙකුට ආරාධනා කර ඇති අතර, ඔවුන්ගේ සහභාගිත්වය ද තහවුරු වී ඇති බවයි.
එමෙන්ම, ජනාධිපතිවරයා සමඟ එක්ව තමන්ගේ මියගිය ඥාතීන්ට ජාතියේ ගෞරවය පුද කිරීමට අවස්ථාව හිමිවීම විශේෂ අවස්ථාවක් බව ද ඔහු පැවසීය.
මේ අතර, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් එල්.එම්.සී.ඩී. නිශ්ශංක මහතා සඳහන් කළේ, යුද, නාවික, ගුවන් හමුදා, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණවිරු දෙමව්පියන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළු පුද්ගලයින් 2,769 දෙනෙකු උත්සවයට සහභාගි වීමට නියමිත බවයි.
එසේම, රණවිරු දෙමව්පියන් 160 දෙනෙකුට ප්‍රධාන සැමරුම් උත්සවයට සහභාගි වීමට මෙවර අවස්ථාව ලබා දී ඇති අතර, උත්සවය සවස 6.45ට පමණ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.