මේ දේවල් කරොත් දඩ වැඩි කරන්න කැබිනට් අනුමැතිය
1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ දක්වා ඇති වැරදි සඳහා පනවනු ලබන මූල්‍යමය දණ්ඩන ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අවසන් අනුමැතිය හිමිව තිබේ.
2025 සැප්තැම්බර් මස ලබා දුන් ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, වර්තමාන සමාජ ආර්ථික වටපිටාවට ගැළපෙන පරිදි මෙම දඩ මුදල් සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස සම්මත වී ඇත.
මෙම සංශෝධනයට අනුව පනතේ 7(3), 13(2) සහ 20 (අ) (3) වගන්තිවල මෙතෙක් සඳහන්ව තිබූ රුපියල් 10,000/-ක උපරිම දඩ මුදල රුපියල් 100,000/- දක්වා දස ගුණයකින් ඉහළ නංවා තිබේ.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ ද අනුමැතිය හිමිව ඇති අතර, එය ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.