දිගින් වැඩිම පටිපණුවා දරුවෙක්ගේ බඩෙන් (PHOTO)(VIDEO)
සෙන්ටිමීටර් 70ක් දිග පටි පණුවෙක් කුරුණෑගල ප්‍රදේශයේ සිටි අවුරුදු 10 ක දරුවෙකුගේ උදරයේ සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් කළ පරීක්ෂණයකදී බව සඳහන්.
එසේම මේ වන තෙක් හමු වී තිබෙන දිගින් වැඩි ම පටිපණුවා මෙය බව ද එම ආයතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා කියා සිටියා.
එහිදී තවදුරටත් පවසා ඇත්තේ මින් පෙර සෙන්ටි මීටර් 40ක් පමණ දිග පටිපණුවෙක් ලෝකයෙන් සොයා ගෙන තිබූ බවයි.
වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන්නේ වඳුරු පටිපණුවන් යන නමින්ද හඳුන්වන මෙම පටි පණුවන් වඳුරන්ගෙන් සහ රිලවුන්ගෙන් බෝවන බවයි.
ඒ අනුව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ අදාළ දරුවාගෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම පටිපණුවා සොයා ගත් බවත් බර්ටියෙල්ලා (Bertiella ) නම් විශේෂයකට මෙම පටිපණුවන් අයත් බවත් ය.
එමෙන්ම ඔහු තවදුරටත් කියා සිටියේ මෙම පටිපණුවන්ගේ විවිධ ප්‍රභේද සිටින බැවින් මේ වන විට සොයා ගෙන ඇති පටි පණුවා මෙරටට අවේණික ද යන්න පරීක්ෂා කිරීමට ජාන පරීක්ෂණයක් කරන බවයි.
ප්‍රතිකාරවලින් මෙම පණුවන් සිරුරෙන් ඉවත් කළ හැකි බව පැවසූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂී විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මොවුන් මිනිස් සිරුරට ඇතුළු විය හැකි ආකාරය ද පැහැදිලි කර ඇත.
"රිලව් වඳුරෝ ඉන්න තැන්වල පස් එක්ක තමා මේක යන්නේ. පොඩි ළමයි සෙල්ලම් කරනවා පස් එක්ක. පස් එක්ක සෙල්ලම් කළා ම නියපොතු අස්සට පස් යනවා නේ. ඊට පස්සේ අත් හෝදන්නේ නැතිව කෑම කෑවොත් පණු බිත්තර ඇඟ ඇතුළට යනවා. බිම වැටුණු පළතුරු ආහාරයට ගැනීමෙන්, පස් ගැවිච්ච පළා කෑමෙන් ඒක වෙන්න පුළුවන්."
එසේම මෙම රෝගයට නිශ්චිත වූ රෝග ලක්ෂණයක් නොමැති බව ද පැවසූ ඔහු බඩේ අමාරුවක්, මළපහ වතුර වගේ යෑම සහ ඇගට පණ නැති ගතියක් ඇති විය හැකි බවද පවසයි.
ඒ අනුව වසර 5ක් - 10ක් වැනි කාලයක් මිනිස් සිරුරේ මෙම පණුවන් සිටිය හැකි බව ද සඳහන්.
කෙසේ වුවද මෙවැනි රෝගයක් සම්පූර්ණයෙන් සුව කළ හැකි බවත් ප්‍රතිකාර ගැනීමෙන් මළපහ සමග මුසු වී පණුවා හැලී යන බවත් විශේෂඥ වෛද්‍යවරවයා ප්‍රකාශ කරයි.
එහෙත් විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා කියා සිටියේ මෙවැනි පරපෝෂිත ආසාදන වළක්වා ගැනීමට බිම වැටුණු පළතුරු සෝදා ආහාරයට ගැනීමත් පළා වර්ග සෝදා ආහාරයට ගැනීමත් කළ යුතු බවයි.
තවද කුඩා දරුවන් පස් සමග සෙල්ලම් කිරීමෙන් පසු, දෑත් සේදීම ද කළ යුතු බව ද අවධාරණය කළා.



