කථානායක වහාම ඉල්ලා අස්විය යුතුයි - ගම්මන්පිල [VIDEO]
නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කර තිබෙනවා.
ඒ කථානායක ජගත් වික්‍රමරත්න මහතාටත් අසෝක රන්වල ගිය පාරේම යන්න වෙන බවටයි.
ඒ අනුව එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,
"මේ රටේ තුන්වන පුරවැසියා වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියලා නොමග යවලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඉන්න පුද්ගලයාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලසලා තිබෙනවා. මේ බරපතළ සිදුවීම වෙන්නේ විශ්වාස භංග යෝජනාවක් පදනම් කරගෙන. විපක්ෂයෙන් අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එරෙහිව භාර දුන් විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කලා. නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනා පළමු වතාව මෙන්ම විශ්වාස භංග යෝජනාවක් විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව ලෙසයි මෙම සිදුවීම පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වෙන්නේ. මෙම යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම ගැන තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් කතානායකතුමා ප්‍රකාශ දෙකක් කළා. සැප්තැම්බර් 10 වන දා කළ පළමු ප්‍රකාශයෙන් කිව්වේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගැන නීතියේ හෝ සම්ප්රදායේ නැති නිසා ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට සම්ප්රදායේ නැතිව ඒ අමිර්තලිංගම් විපක්ෂ නායකතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ කොහොමද කියලා විපක්ෂය ප්‍රශ්න කළා.වැඩේ වැරදුනා කියලා තේරුණු කතානායකතුමා සැප්තැම්බර් 25 වන දා තවත් ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයෙන් කිව්වේ නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීමක් පවරලා නැති නිසා විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ කියලා. ඇමතිවරයා විදේශගත වන විට නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරන නිසාත් ජනාධිපතිතුමා විදෙස් ගත වන සෑම අවස්ථාවකම වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිතුමා පත් කරන නිසාත් මේ ප්‍රකාශයට පදනමක් නෑ කියලා විපක්ෂය කිව්වා. මේ අවස්ථාවේ කතානායක කිව්වේ තමන්ගේ ප්‍රකාශ වලට පදනම් කර ගත්තේ නීතිපති මතය සහ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ මතය කියලා. එහෙම නම් ඒ අය දුන්නු වාර්තා සභාගත කරන්න කියලා ගයන්ත කරුණාතිලක මන්ත්‍රිතුමා දිගින් දිගටම පීඩනයක් එල්ල කළා. විපක්ෂයේ පීඩනය දරා ගන්න බැරි වුණාම මේ වාර්තා සභාගත කළා. අපිත් ඒවා ගෙන්නා ගෙන අධ්‍යනය කළා. ඒ වාර්තා වල මොකද තිබෙන්නේ? නීතිපතිතුමාගෙන් විමසා තිබුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පවතින නඩු හේතුවෙන් පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංග යෝජනාව විවාද කරන්න පුළුවන් ද කියලා. ඒත් නීතිපතිතුමා දැනුම් දුන්නේ පවතින නඩු වලින් මේ විවාදයට කිසිම බාධාවක් නෑ කියලා. ඒ අත්තේ එල්ලෙන්න බෑ කියලා තේරුණාම ඊට පස්සේ කතානායකතුමා ලේකම් මණ්ඩලයේ මතය විමසලා තිබුණා. ලේකම් මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහ ලේකම් ඒකාබද්ධව කටයුතු කරන එකයි. ලේකම් මණ්ඩලය වාර්තා දෙකක් දීලා තිබුණා. ඒ අය කියලා තිබුණේ බ්‍රිතාන්‍ය සම්ප්රදාය අනුව විශ්වාස භංග යෝජනාව වෙනුවට censure motion නැතිනම් බරපතළ ලෙස හෙලා දැකීමේ යෝජනාවක් ගේන්න පුළුවන්.
මීට පෙර නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් නැතත් ඔහු තනතුරු දරන්නෙකු නිසා ලංකාවේ සම්ප්රදාය අනුව ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න පුළුවන්. දෙකෙන් එකක් ඔබතුමා තෝරා ගන්න කියලා. මේ කිසිම වාර්තාවක නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ කියලා නෑ. මේ සිදුවීමෙන් අපට මොකක්ද පේන්නේ? අපි දන්නේ නැති වුණාට අරුණ ජයසේකර ඇමතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩුව ලොකු අර්බූදයකට තල්ලු වෙන දෙයක් වෙනවා. ආණ්ඩුවට මන්ත්‍රිවරු 159ක් සිටින නිසා මේ විශ්වාස භංග යෝජනාව ලෙහෙසියෙන්ම පරදන්න පුළුවන්නෙ. එහෙම නම් ආණ්ඩුව බය වෙලා තිබෙන්නේ විවාදයේ දී මතු වෙන්න ඉඩ තිබෙන ආන්දෝලනාත්මක තොරතුරකටයි. ඒ නිසා මේ යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කරන්න කියලා පැලවත්තෙන් හරි ජනාධිපතිගෙන් හරි වෙනත් යම් කෙනෙකුගෙන් හරි කතානායකතුමාට නියෝගයක් ලැබිලා තිබෙන්න ඕනි. නැතිනම් පාර්ලිමේන්තුව නොමග යවලා මේ විවාදය මග හරින්න කතානායක පෙළෙඹෙන්නේ ඇයි? මුලින්ම නීතිපතිගේ ඇඟේ එල්ලිලා යෝජනාව ප්‍රතික්ෂේප කරන්න නීතිපතිගේ මතය විමසුවා. නමුත් නීතිපති විවාදය කරන්න නඩු වලින් බාධාවක් නෑ කිව්වා. ඒ පාර ලේකම් මණ්ඩලයේ එල්ලෙන්න බැලුවා. ඒ අයත් විවාදය කරන්න පුළුවන් කිව්වා. කරන්න දෙයක් නැති වුණාම ඒ අයගේ වාර්තා අනුව කියමින් යෝජනාව ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තුව නොමග යැව්වා. ජනාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති වගේම ලේකම් මණ්ඩලයත් සිය මතය දැනුම් දෙන්නේ කථානායකට. මේ අය එවන සංදේශ ගැනත් කථානායක බොරු කියලා පාර්ලිමේන්තුව නොමග යවන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේ කතානායක පුටුවේ වාඩි කරගෙන තව දුරටත් පාර්ලිමේන්තුවට පවතින්න බෑ. කථානායකතුමා වහාම ඉල්ලා අස්විය යුතුයි. දුරාචාර්ය අසෝක රන්වල කතානායකතුමා යැවූ පාරේම වෛද්‍ය ජගත් වික්රමරත්නත් මහතාත් ගෙදර යවන්න ඕනි. මේ නොමග යැවීම පදනම් කරගෙන විපක්ෂය අනිවාර්යෙන්ම කථානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඕනි. විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කළත් කථානායකගේ සැබෑ ස්වරූපය හෙලිදරව් කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නොවේ, මාසයක් විතර කථානායකට තනතුරේ කටයුතු කරන්න බැරි වෙනවා. පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව කථානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නු දවසේ සිට ඡන්දය විමසන දවස දක්වා ඔහුට කථානායක ධූරයේ කටයුතු කරන්න බෑ. මේ කළ කැත වැඩේට ඒකත් හොඳ දඩුවමක්." යනුවෙන්.