තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ
මත්පැන් නිෂ්පාදනවල අලවන ආරක්ෂක සලකුණු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය අන්තර්ජාතික අත්දැකීම් සහ සුදුසුකම් නොමැතිව සමගාමකට පිරිනැමීමට මුදල් අමාත්‍යංශය සුදානම් වන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති පවසන බව වාර්තා වේ.
ඒ අනුව එම වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ ආරක්ෂක සළකුණු මුද්‍රණය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ඉකුත් සතියේ ලැබීමෙන් අනතුරුව ඊට අදාළ ප්‍රසම්පාදන නිර්ණායක සකස් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවයි.
එහෙත් අඳාළ ටෙන්ඩරය අන්තර්ජාතික සුදුසුකම් නොමැති සමාගමකට ලබාගත හැකි වන ආකාරයට ප්‍රසම්පාදන නිර්ණායක වෙනස් කරමින් ප්‍රසම්පාදන කටයුතු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ ද සහය ලැබෙන බවත් වෘත්තීය සමිති නියෝජිතයන් චෝදනා කරන බව සඳහන්.
තෙල් ප්‍රශ්න මදිවට පිරවුම්හල්වලත් ප්‍රශ්නයක් - දේශීය බෙදාහරින්නන්ගේ පිරවුම්හල් විදේශීය සමාගම්වලට දීමට යන බවට සැකයක්
එබැවින් සුරාබදු වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කරන්නේ මත්පැන් නිෂ්පාදනවල ආරක්ෂිත ස්ටිකර මසකට මිලියන 40 ක් පමණ අවශ්‍ය වන අතර එසේ සුදුසුකම් නොමැති සමාගමකට ටෙන්ඩරය පිරිනැමුවහොත් ගල් අගුරු ටෙන්ඩරය මෙන් ආණ්ඩුවට තවත් චෝදනාවක් එල්ල විය හැකි බැවින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මෙයට මැදිහත්විය යුතු බවයි.
ඊට අමතරව සුරාබදු කොමසාරිස් ජනරාල් විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න මහතාගෙන් මේ සමබන්ධයෙන් කළ විමසුමකදී, කිසිඳු සමාගමක් ඉලක්ක කරමින් ටෙන්ඩර් නිර්ණායක සකස් නොකරන බවත් මීට පෙර එම ස්ටිකර සැපයූ සමාගම ඇතුළු ඕනෑම දේශීය හෝ විදේශීය සමාගමකට ටෙන්ඩරයට ඉදිරිපත්විය හැකි ආකාරයේ නිර්නායක එයට ඇතුළත් කරන බවත් පැවසූ බව වාර්තා වේ.
එමෙන්ම ටෙන්ඩරය සකස් කිරීමේ කටයුතු මේ දක්වා ආරම්භ කර නොමැති බවටත්, කිසිඳු සමාගමකට වාසියක් වී සුරාබදු දෙපාර්තමේනතුවට අවාසියක් වන ටෙන්ඩර් කොන්දේසි ඇතුළත් නොකරන බවටත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූ බව සඳහන්.