බන්ධනාගාරගත භික්ෂූන් පිටතට රැගෙන ඒමේදී සිවුරෙන් සැරසීමට නීතිමය ඉඩ ලබාදෙන්න - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයෙන් ඉල්ලීමක්

Report

 බන්ධනාගාරගතව සිටින භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුම් වෙනුවට උන්වහන්සේලාගේ ශාසනික නිල ඇඳුම වන සිවුරෙන් සැරසී යාමට නීතිමය අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ මහා ලේඛකාධිකාරී, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත නායක හිමි සහ එහි සභාපති, ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන නායක හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව යොමු කර තිබෙන බව වාර්තා වේ.

රටක අධිකරණය සහ එහි තීන්දු තීරණවලට රටවැසියන් අවනත විය යුතු බව පිළිගන්නා බව සඳහන් කරන එම සංගමය, නෛතිකව වරදකරුවන් වී දඬුවම් විඳින භික්ෂූන් වහන්සේලාට ද බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව කටයුතු කිරීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දී ඇත .

කෙසේ වෙතත්, එවැනි භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුමින් සැරසී සිටින ආකාරය ප්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාව අතරද දැඩි කම්පනයක් ඇති වන බව එම සංගමය සඳහන් කර තිබේ.

දඬුවම් කාලය අවසන් කිරීමෙන් අනතුරුව නැවතත් සමාජය තුළ ආගමික හා අධ්‍යාත්මික සේවාවන්හි නිරත වීමට සිදුවන බැවින්, භික්ෂූන් වහන්සේලාට ලබාදෙන දඬුවම පුනරුත්ථාපන අරමුණු සහිත විය යුතු බවද ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම, දඬුවම් ක්‍රියාමාර්ග පුද්ගල පෞරුෂයට අනවශ්‍ය හානියක් සිදු නොවන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බවද ලිපියේ සඳහන්ය.

ඒ අනුව, බන්ධනාගාරගත භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුරෙන් සැරසී යාමට අවස්ථාව ලබාදීම මගින් පොදු මහජනතාවගේ ආගමික සංවේදීතාවයට ගරු කිරීමක් සිදුවන අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයටද යහපත් බලපෑමක් ඇති වනු ඇතැයි එම සංගමය විශ්වාසය පළ කරයි.

මේ සම්බන්ධයෙන් යොමු කළ ලිපියේ පිටපත් මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙත මෙන්ම ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා වෙතද යොමු කර තිබේ.

ආනෝජන් සිවරාසාගේ මරණ දඬුවම වහා අවලංගු කර නිදහස් කරන්න - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් බලපෑම්

ආනෝජන් සිවරාසාගේ මරණ දඬුවම වහා අවලංගු කර නිදහස් කරන්න - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් බලපෑම්

වාහනයක් විකුණද්දී MTA 6 Form එක නැතුව දුන්නොත් හිරේ යන්න වෙයිද? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් හදිසි දැනුම්දීමක්

වාහනයක් විකුණද්දී MTA 6 Form එක නැතුව දුන්නොත් හිරේ යන්න වෙයිද? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් හදිසි දැනුම්දීමක්