අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක ආනයනය නතර කෙරේ!!!.හදිසියේම සිදුවූ දේ මෙන්න.

By Aruna Jun 19, 2022 06:05 AM GMT
Report

‘විවෘත ඇණවුම් ක්‍රමය’ යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත් ගැසට් නිවේදනය නිකුත් නොකිරීම නිසා භාණ්ඩ ආනයනය තාවකාලිකව නතර කිරීමට ආනයනකරුවන්ගේ සංගමයේ අවධානය යොමු වී තිබෙනවා.

සහල්, තිරිඟුපිටි, සීනි, පරිප්පු, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් ආනයනය කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන සීයයක් මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැමැත්ත පළ කර ඇත.

එම භාණ්ඩ විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ගෙන්වීමට ආනයනකරුවන් යෝජනා කළද ශ්‍රී ලංකා මහ බැංකුව ඊට විරුද්ධත්වය පළ කර තිබේ.

ඊට හේතුව වන්නේ උණ්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරු වීම වැළැක්වීම සඳහාය.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය ජූලි මාසයේදී පමණ ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිලක් පැනවීමට යෝජනා කළත් වෙළෙඳ අමාත්‍යාංශය ඊට විරෝධය පළ කර තිබේ.

ආනයනික සහල් සහ සීනි සඳහා පාලන මිලක් පැනවීමට වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇත.

එහෙත් ඇමැති නලින් ප්‍රනාන්දු ඊට විරුද්ධත්වය පළ කර ඇත.

සීනි කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළේ මේ වන විට අලෙවි වන්නේ රුපියල් 300කටය.

සීනි පාලන මිල ලෙස රුපියල් 150ක මිලක් ගැසට් කිරීමට සූදානම් වුවද එයද අත්හිටුවා ඇත.

ඉන්දීය ණය ආධාර යටතේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් මෙරටට ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් 190ක් වුවත් අලෙවි කරන මිල රුපියල් 240ක් බව තොග වෙළෙඳුන් අගමැතිවරයාටද දැනුම් දී තිබේ.

ඉන්දියාවෙන් රුපියල් 180කට ආනයනය කරන පොන්නි හා කෝරා සහල් වෙළෙඳපොළේ අලෙවි කිරීමට නියමිතව ඇත්තේ රුපියල් 235කටය.

දැනට වෙළෙඳපොළේ රුපියල් 250කට අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව ඇත්තේ බී ලූනු හා අල පමණක් බව සඳහන්වේ.

මේ නිසා ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මෙන්ම විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහය සඳහා පාලන මිලක් පනවන ලෙස තොග වෙළෙඳුන්ගේ සංගමය වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

එහෙත් මෙලෙස ගෙන්වන භාණ්ඩවල මිල උච්චාවචනය වීම් නිරීක්ෂණය කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now