පෙරහැරට ගෙනා අලියෙකු කුපිතවී කළ දරුණු ප්‍රහාරයෙන් ඇත්ගොව්වා සහ සහයකයා ජීවිතක්ෂයට – රක්වානෙන් ඛේදජනක සිද්ධියක්

By Malith Madushan Jun 22, 2026 05:37 AM GMT
Report

රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පැවැති 78 වන පොසොන් පෙරහැර සඳහා ගෙන ආ අලියෙකු කළ පහරදීමකින් ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ (21) පැවැති පෙරහැර සඳහා අලියන් දෙදෙනෙකු විහාරස්ථානය ආසන්නයේ බැඳ තබා ඇති අතර, අද (22) උදෑසන එම අලියෙකුට ජලය ලබාදීම සඳහා සහයකයා විසින් අලියා රක්වාන ගඟ දෙසට රැගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේදී අලියා හදිසියේ කුපිත වී සහයකයාට පහරදී පාගා දමා ඇති අතර, ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

සහයකයාගේ කෑගැසීම ඇසී එම ස්ථානයට පැමිණි ඇත්ගොව්වාටද අලියා පහරදී ඇති අතර, ඔහුද එහිදී මරණයට පත්ව ඇත. සිද්ධියෙන් පසු අලියා විහාරස්ථානය අසල කුඹුරු යායකට පැන ගොස් ඇති බව වාර්තා වේ.

පසුව වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලධාරීහු සඳහන් කළහ.