ලංකාවම බයවෙන එල් නිනෝවේ ඇත්ත තත්ත්වය මෙන්න - මෙතෙක් ආපු ආරංචිය කණපිට ගහන හෙළිදරව්වක්
දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණිය මහතා පවසන්නේ ගෝලීය එල් නිනෝ සංසිද්ධියෙන් ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩාවට පත්වීමේ සම්භාවිතාව දැනට ඉතා අඩු බවයි.
කාලගුණ අනාවැකිවලට අනුව, නිවර්තන පැසිෆික් කලාපයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් සැලකිය යුතු බලපෑමක් අපේක්ෂා කරන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව පමණක් බවයි.
නිරිතදිග මෝසම් වැසි අඛණ්ඩව පවතින බවත් සැප්තැම්බර් දක්වා පවතින බවත්, සමස්ත තීව්‍රතාවය අඩු වන විට ජූලි සහ අගෝස්තු මාසවල ඉඳහිට වර්ෂාපතනයක් පමණක් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔක්තෝබර්-නොවැම්බර් මාසවල දෙවන අන්තර් මෝසම් වැසි අපේක්ෂා කරන අතර, පසුව ඊසානදිග මෝසම පෙබරවාරි දක්වා පවතිනු ඇත.පළමු අන්තර් මෝසම් සමය මාර්තු-අප්‍රේල් මාසවල ආරම්භ වේ.
එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වුවහොත්, ඒවා නිරිතදිග හෝ අන්තර් මෝසම් වැසිවලට වඩා ඊසානදිග මෝසමට බලපෑම් කිරීමට වැඩි ඉඩක් ඇති බව රන්දෙණිය මහතා තවදුරටත් පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පිහිටීම ආර්ද්‍රතා මට්ටම් පවත්වා ගැනීමට උපකාරී වන බවත්, දැඩි වියළි තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරන බවත් ඔහු අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණිය මහතා,
"පැසිෆික් සාගරයේ ඒ සිදුවන ගෝලීය කාලගුණික තත්ත්වය කෙසේ වෙතත් ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන නිසා ඉන්දියන් සාගරයේ තිබෙනවා ඉන්දියානු ද්වි ධ්‍රැවි යාන්ත්‍රණය කියලා එකක්. එකෙදි වෙන්නේ ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශවල උණුසුම වැඩි වෙනවා, උණුසුම වැඩි වෙනකොට මුහුදු ජලය වාශ්ප වෙනවා. මුහුදු ජලය වාශ්ප වෙනකොට ඉහළ යන ප්‍රවාහ ධාරා නිසා ජල වාශ්පවලින් වලාකුළු හැදිලා ලංකාවේ භූ විශමතාවය අනුව රට මැද කඳුකරය තියෙනවා සුළං හමාගෙන ඇවිල්ලා කඳුකරය ආශ්‍රිතව සීතල වෙලා වලාකුළු හැදිලා වහිනවා. ඒ කටයුතු නිසා, ලංකාව දූපතක් නිසාත්, රට මැද කඳුකරයක් තියෙන නිසාත් රට වටේ ලොකු සාගරයක් තියෙන නිසාත් අපිට ජල වාශ්ප හිඟ වීමක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අපිට වර්ෂාව අඩුවෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇති නොවේවි කියලා තමයි අපිට පේන්නේ. දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ දෙසැම්බර් පහුවෙලා ජනවාරි, පෙබරවාරි කියන කාලවලදි. මොන විදිහේ තත්ත්වයක් ආවත් පෙර සූදානම ඉතා වැදගත් ඒනිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, දරුණු එල්-නිනෝ තතත්වයක් ඇති වුණොත් ආහාර හිඟයක් ඇති වීම, අපි බලාපොරොත්තු වෙන අස්වනු අපිට බෝග වගාවෙන් බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා. වී අස්වනු අඩු වෙන්න පුළුවන්. යම් හෙයකින් අපිට මෙහි බලපෑමක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා සූදානම් වීමත් වැදගත්"