ලංකාවට එන ප්‍රබල 'එල් නීනෝ' අවදානම - මධ්‍යම කඳුකරයට වෙන්න යන දේ ඇහුවොත් ඔබත් කලබල වෙයි
ශ්‍රී ලංකාවට ඉදිරියේදී බලපෑම් ඇති කළ හැකි ප්‍රබල එල් නීනෝ තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්වරයා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජල කළමනාකරණ අංශයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඉදිරි මාසවලදී ඇතිවිය හැකි කාලගුණික වෙනස්කම් හා ඒවාට මුහුණදීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
ලෝකෙම බයෙන් ඉන්න එල්නිනෝ ලබන මාසයේ ඉඳන් ලංකාවටත් - වෙන්න යන විනාසෙට මුහුණ දෙන විදිහ ගැන දැනුවත් කිරීම අද
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේශගුණ විපර්යාස හා පර්යේෂණ අධ්යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය සඳහන් කළේ, දැනට තත්ත්වය සාමාන්‍ය මට්ටමක පැවතියද ඉදිරියේදී යම් අවදානම් තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
එල් නීනෝ සංසිද්ධිය හේතුවෙන් ඇතැම් කාලවල වර්ෂාපතනය අඩුවීමේ ප්‍රවණතාවක් දැකිය හැකි අතර, ඒ පිළිබඳව ජනතාව සහ අදාළ ආයතන දැනුවත් කරමින් සිටින බවද ඇය ප්‍රකාශ කළාය. කාලගුණ විද්‍යාඥ මලීත් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජූනි සහ ජූලි මාසවලදී වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි.
විශේෂයෙන් ජූලි සහ අගෝස්තු මාසවල සාමාන්‍ය වැසි ප්‍රමාණයද පහළ යා හැකි බැවින් ඇතැම් අංශවලට බලපෑම් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී නිශ්චිතවම කුමන ආකාරයේ බලපෑම් ඇතිවේදැයි පුරෝකථනය කිරීම අපහසු බවත්, ඒ ඒ අවස්ථාවට ගැළපෙන පරිදි සැලසුම් සකස් කරගැනීම වැදගත් බවත් ඔහු අවධාරණය කළේය.
එල් නීනෝ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල වර්ෂාපතනය වෙනදාට වඩා අඩුවීමේ හැකියාවක් පවතින බවද මලීත් ප්‍රනාන්දු මහතා පැවසීය.
එමෙන්ම පෙර දත්ත අනුව නොවැම්බර් මාසයේදී වර්ෂාපතනය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිය හැකි බවද ඔහු සඳහන් කළේය.
සමාජ මාධ්‍යවල “සුපර් එල් නීනෝ” තත්ත්වයක් පිළිබඳ විවිධ අදහස් පළවෙමින් තිබුණද, එවැනි පද භාවිතය බොහෝවිට මහජන අවධානය දිනාගැනීම සඳහා යොදාගන්නා බව මලීත් ප්‍රනාන්දු මහතා පැවසීය.
කෙසේ වෙතත්, ඉදිරියේදී ප්‍රබල එල් නීනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව පැහැදිලි වන අතර, ඒ සඳහා අදාළ අංශ සහ ජනතාව පෙර සූදානමින් සිටීම වැදගත් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.