නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් සහ සහකරු නිකොලස් කීනන් තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කරයි

Report

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය රොබ් ජෙටන් (Rob Jetten) සහ ඔහුගේ සහකරු වන ආර්ජන්ටිනා ජාතික හොකී ක්‍රීඩක නිකොලස් කීනන් (Nicolás Keenan) තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව සඳුදා නිවේදනය කළහ.

ඔවුන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මේ බව ප්‍රකාශ කරමින්, “අපේ ජීවිතයට ඉතා විශේෂ කෙනෙක් පැමිණෙමින් සිටිනවා. පුංචි පැටියෝ, 2027දී හමුවෙමු” යනුවෙන් සටහනක් තබා තිබුණි.

මෙම සිහිනය සැබෑ කර ගැනීමට සහාය වූ ඩිම්බ පරිත්‍යාගශීලියාට, කුලී මව ලෙස කටයුතු කරන ලීසාට සහ දෙපාර්ශ්වයේම පවුල්වලට ස්තූතිය පළ කිරීමට වචන ප්‍රමාණවත් නොවන බව ද ඔවුහු සඳහන් කළහ. ජෙටන් නියෝජනය කරන D66 දේශපාලන පක්ෂය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, දැනටමත් දරුවන් සිටින ඔවුන්ගේ සමීප මිතුරු යුවළකගේ සහාය ඇතිව මෙම දරු උපත සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.

කුලී මව සහ ඩිම්බ පරිත්‍යාගශීලියා යන දෙදෙනාම නෙදර්ලන්ත ජාතිකයන් බව ද එම නිවේදනයේ සඳහන් වේ. මෙය වාණිජමය අරමුණු මත සිදු කෙරෙන කුලී මාතෘත්වයක් නොවන බව අවධාරණය කළ පක්ෂය, අදාළ පුද්ගලයන් ජෙටන් සහ කීනන්ගේ සමීප හිතවතුන් බව ද පැවසීය.

මෙම ක්‍රියාවලිය හරහා තම මිතුරන් දෙදෙනාගේ දරුවෙකු ලැබීමේ සිහිනය සැබෑ කර ගැනීමට උපකාර කිරීමට ලැබීම පිළිබඳව කුලී මව වන ලීසා ද සතුට පළ කර තිබේ. රොබ් ජෙටන් සහ නිකොලස් කීනන් 2024 නොවැම්බර් මාසයේදී තම විවාහ ගිවිස ගැනීම ප්‍රසිද්ධියට පත් කළහ.

 1987 වසරේ නෙදර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ වෙගෙල් (Veghel) නගරයේ උපත ලැබූ රොබ් ජෙටන්, ඒ ආසන්නයේ පිහිටි උඩෙන් (Uden) නගරයේ හැදී වැඩුණේය.

ඔහු නයිමෙගන් කළමනාකරණ පාසලේ (Nijmegen School of Management) අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව, නෙදර්ලන්තයේ දුම්රිය යටිතල පහසුකම් නඩත්තු කිරීමේ වගකීම දරන ප්‍රෝරේල් (ProRail) ආයතනයේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

2017 වසරේදී D66 පක්ෂය නියෝජනය කරමින් නෙදර්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු, පසුව හිටපු අග්‍රාමාත්‍ය මාර්ක් රුටේගේ පාලන සමයේදී දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. මාර්ක් රුටේ මේ වන විට නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ජෙටන් සහ කීනන්ගේ මෙම නිවේදනය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, 2027 වසරේදී සිය පළමු දරුවා පිළිගැනීමට ඔවුහු සූදානමින් සිටිති.

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

කාවන්තිස්ස නැතිව තනිවූ ගල්ගමුවේ අලි රංචුව - හදවත සසළ කරන සංවේදී දර්ශනයක්

කාවන්තිස්ස නැතිව තනිවූ ගල්ගමුවේ අලි රංචුව - හදවත සසළ කරන සංවේදී දර්ශනයක්

GalleryGallery