දඩ මුදල් ගෙවාගන්න බැරුව 1,454ක් තාමත් හිරගේවල්වල - අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී හෙළි කරයි
බන්ධනාගාරගතව දඩ මුදල් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 1,454 දෙනෙකු තවදුරටත් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා සදහන් කර තිබේ.
රෝහිත අබේගුණවර්ධන මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ ප්රකාශ කර ඇත.
රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 421 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව එහිදී අමාත්යවරයා සදහන් කර තිබේ .
තවද අමාත්යවරයා ඉදිරිපත් කළ සංඛ්යාලේඛන අනුව, බන්ධනාගාරවල සිටින සමස්ත සිරකරුවන් සංඛ්යාව 10,611ක් වන අතර සැකකරුවන් සංඛ්යාව 28,408කි. දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින රැඳවියන් 1,454 දෙනාගේ සංඛ්යාව දඩ මුදල් ප්රමාණය අනුව පහත පරිදිය .
රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි රැඳවියන් 421ක්. රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි රැඳවියන් 220ක්.
රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි රැඳවියන් 361ක්. රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි රැඳවියන් 245ක්.
රුපියල් ලක්ෂයකට වැඩි දඩ මුදල් ගෙවාගත නොහැකි රැඳවියන් 207ක්.
දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින මෙම රැඳවියන් නිදහස් කර ගැනීම සඳහා රජය සතුව වැඩපිළිවෙළක් තිබේදැයි රෝහිත අබේගුණවර්ධන මන්ත්රීවරයා මෙහිදී විමසන ලදි.
ඊට පිළිතුරු දෙමින් අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින තෝරාගත් රැඳවියන් වෙනුවෙන් එම මුදල් ගෙවා ඔවුන් නිදහස් කර ගැනීමේ වැඩසටහන් විවිධ සංවිධාන හා ආයතන මගින් දැනටමත් ක්රියාත්මක වන බවයි.
තවද අමාත්යවරයා වැඩිදුරටත් සදහන් කළේ ඉදිරියේදී ද ඕනෑම රාජ්ය හෝ රාජ්ය නොවන ආයතනයකට අදාළ රැඳවියන්ගේ දඩ මුදල් ගෙවා ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් විය හැකි බවත්, ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් තහනමක් නොමැති බවයි