අඩු ආදායම්ලාභී පවුල් 30,000කට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන සහනය මෙන්න
ශ්රී ලංකාවේ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම, ආර්ථික අවස්ථා පුළුල් කිරීම සහ දිළිඳු හා වැඩිහිටි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්ය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.
මෙම මූල්ය ආධාරය ඩොලර් මිලියන 50ක ප්රතිපත්තිමය ණයක් සහ ඩොලර් මිලියන 50ක ව්යාපෘති ණයක් ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.
‘සියලු දෙනා ඇතුළත් කරගත් ප්රකෘතිමත් වීමක් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ අවස්ථා ප්රවර්ධනය කිරීමේ අංශ සංවර්ධන වැඩසටහන’ යටතේ මෙම ආධාරය ලබාදීමට නියමිතය.
එමඟින් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය හා රැකියා අවස්ථා පුළුල් කිරීම, වැඩිහිටි රැකවරණ සේවා වැඩිදියුණු කිරීම සහ සමාජ ආරක්ෂණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, දිළිඳුකම සහ ආර්ථික හා වෙනත් හදිසි බලපෑම්වලට මුහුණදීමේ අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.
විශේෂයෙන් කාන්තාවන්, තරුණයන්, වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ ග්රාමීය හා අවාසිදායක ප්රදේශවල ජනතාව මෙවැනි අවදානම්වලට වැඩි වශයෙන් මුහුණ දෙති.
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකා නේවාසික අධ්යක්ෂ ෂැනන් කව්ලින් මහත්මිය සඳහන් කළේ, ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිමත් වීම අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන්හි සැබෑ දියුණුවක් බවට පත්විය යුතු බවයි.
මෙම වැඩසටහන මඟින් දිළිඳු පවුල් සඳහා ආර්ථික අවස්ථා පුළුල් කිරීම, වයස්ගත වන ජනගහනය වෙනුවෙන් සමාජ රැකවරණ සේවා ශක්තිමත් කිරීම සහ දිගුකාලීන ආර්ථික ප්රකෘතිමත් වීම සඳහා වඩාත් සියල්ලන් ඇතුළත් කරගත් හා ඔරොත්තු දීමේ හැකියාව ඇති සමාජ ආරක්ෂණ පද්ධතියක් ගොඩනැඟීමට සහාය වනු ඇති බවද ඇය පැවසුවාය.
අඩු ආදායම්ලාභී පවුල් 30,000කට සහාය
රජයේ ජාතික සවිබලගැන්වීමේ වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා මෙම මූල්ය ආධාරය යොදාගැනීමට නියමිතය. ඒ අනුව, අස්වැසුම සමාජ ලේඛනය හරහා හඳුනාගත් පවුල් 30,000කට ජීවනෝපාය ආධාර ලබාදීමට සැලසුම් කර තිබේ.
දිස්ත්රික්ක හයක ක්රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහනට කාන්තාවන් සහ තරුණයන් ඇතුළත් වන අතර, ඒ යටතේ ජීවනෝපාය ප්රදාන, රැකියා සහ ව්යාපාර සඳහා සහාය, කුසලතා සංවර්ධනය, මූල්ය සාක්ෂරතා පුහුණුව සහ විශ්වාසදායක වෙළෙඳපොළ වෙත ප්රවේශය ලබාදීමට අපේක්ෂා කෙරේ.
වැඩිහිටි රැකවරණ මධ්යස්ථාන පහක්
වැඩිහිටි රැකවරණ සේවා සඳහා පවතින ප්රතිපත්තිමය හා නියාමන රාමුව ශක්තිමත් කිරීමද මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
ඒ යටතේ අඩු ආදායම්ලාභී ජනතාව වෙසෙන දිස්ත්රික්කවල ආදර්ශ වැඩිහිටි දිවා සුරැකුම් මධ්යස්ථාන පහක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙම මධ්යස්ථාන මඟින් ඒකාබද්ධ රැකවරණ හා සහාය සේවා සැපයීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, රට පුරා පුළුල් කළ හැකි වැඩිහිටි රැකවරණ ආකෘති අත්හදා බැලීම හා වැඩිදියුණු කිරීම සඳහාද ඒවා යොදාගැනීමට සැලසුම් කර ඇත.
සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම
සමාජ ආරක්ෂණ සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අධීක්ෂණ හා ඇගයීම් පද්ධති, ඩිජිටල් වේදිකා, සිද්ධි කළමනාකරණ ක්රමවේද සහ දත්ත පාලන ක්රියාවලීන් ශක්තිමත් කිරීමටද මෙම වැඩසටහනෙන් සහාය ලැබෙනු ඇත.
දේශගුණික විපර්යාස සහ වෙනත් හදිසි තත්ත්ව හේතුවෙන් ජනතාවට බලපෑම් ඇතිවන අවස්ථාවලදී කඩිනම් හා ඵලදායී සහාය ලබාදීමට හැකි වන පරිදි ආයතනික සැලසුම් සහ සම්බන්ධීකරණ ක්රමවේද වැඩිදියුණු කිරීමද මෙහි අරමුණකි.