දිට්වා කුණාටුව නිසා ලැබුණු සහනාධාර තොගයක් සඟවා සිටි සංවර්ධන නිලධාරින් අත්අඩංගුවට
අරණායක පොලීසිය විසින් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා සුළි කුණාටුවෙන් ආපදායට ලක්වූ පවුල් සඳහා රජය සහ වෙනත් ආයතන මගින් ලබා දුන් සහනාධාර බඩු තොගයක් තම නිවාසවල සඟවාගෙන සිටි සංවර්ධන නිලධාරිනි දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කරන්නේ, අදාළ නිලධාරිනිගෙන් එක් පුද්ගලයෙකු අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා භාරකාරිණියක් ලෙස කටයුතු කරමින් සිටි බවය.
කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිත් නිශාන්ත මහතාට ලැබුණු තොරතුරක් මත, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතාගේ අධීක්ෂණයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් අරණායක පොලීසිය සමඟ එක්ව විමර්ශනය සිදු කරන ලදී. එහිදී සඟවා තිබූ සහනාධාර බඩු තොගය සොයාගෙන ඇත.
අදාළ නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික අධීක්ෂණ යටතේ ඉදිරි විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් සහනාධාර බඩු තොගය තක්සේරු කිරීමේ කටයුතුද පවත්වනු ලබයි.