හොරු ඇල්ලුවට මදි මිනිස්සුන්ට සතුටින් ඉන්න සල්ලි ඕනේ - දිලිත් ජයවීර
රක්වාන ආසනයේ අම්බැවිල කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ රට ගොඩනැඟීමට නම් සත්‍ය මත පදනම් වූ ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය,
“ජනතාව සතුටින් තියන්න නම් කරුණු දෙකක් සිද්ධ වෙන්න ඕනෙ. තමන්ට ඕනෙ දෙයක් ගන්න, දරුවන්ට උගන්වන්න, ඉතිරි කරන්න අතට සල්ලි ලැබෙන්න ඕනෙ. ඒ සඳහා මේ රටට යන්ත්‍රණයක් තිබෙන්න ඕනෙ. ඒ යන්ත්‍රණය තුළ ධනය නිර්මාණය වෙන්න ඕනෙ. ණය ගෙන, තිබෙන දේ විකුණා, රාජ්‍ය දේපළ විකුණා එහෙම නැත්නම් හොරු අල්ලලා සල්ලි හම්බ වෙන්නේ නෑ. එහෙම සල්ලි හම්බ කරන්නත් බෑ. මාලිමාවට ඡන්දය දුන්න අය හිතුවා, හොරු ඇල්ලුවාම තමන්ගේ ජීවිතේ වෙනසක් වෙයි කියලා. හොරු අල්ලන්න ඕනෙ. මේ රටේ හොරුන්ට ඉඩක් තියන්න බෑ. මේක බුදුන් පය තැබූ දේශයක්. අපි හොරකම අනුමත කරන්නේ නෑ. කිසිම කෙනෙක් හොරකම් නොකළ යුතුයි. ඒක තමයි අපේ දහමේ එන පණිවුඩය. හොරු අල්ලනවා කියලා ජවනිකා කරලා ජනතාවගේ ජීවිතයේ කිසිදු වෙනසක් වෙන්නේ නෑ. මේ වෙන තෙක් අල්ලපු එක හොරෙක්ගෙන් තඹ දොයිතක් භාණ්ඩාගාරයට එකතු වෙලා නෑ. එකතු වෙන්නෙත් නෑ. ඒකයි අපි කියන්නේ ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දීලා බලාපොරොත්තු වූ කිසිම දෙයක් මේ වෙනකම් වෙලා නෑ කියලා. ඔබ හිතනවද ගොවියා, රාජ්‍ය සේවකයා, කම්කරුවා සතුටින් ඉන්නවා කියලා. ඔවුන් ළඟට ගිහින් කතා කරන්න. එතකොට සැබෑ තත්ත්වය තේරුම් ගත හැකියි. ඒ කිසිම කෙනෙක් සතුටින් නෑ. එදා ඔවුන් පාරට බැහැලා උද්ඝෝෂණ කළේ, පිකටින් කළේ සතුටින් ඉන්න පුළුවන් රාජ්‍යයක් ගන්න. ඒත් අද එහෙම වෙලා නෑ. අපේ පක්ෂය බල මණ්ඩල කැඳවා ජනතාවට සාම්ප්‍රදායික ලෙස කතා පවත්වා ගෙදර යවන දේශපාලනයක් කරන්නේ නෑ.” ලෙසයි.