ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක විසින් දරුවකු යමක් බොඳවී, ඇදවී හෝ අපහැදිලිව යමක් පෙනෙන බව පවසන්නේ නම් එය කෙරටොකෝනස් තත්ත්වයක් විය හැකි බවත් එය නොසලකා නොහැරිය යුතු තත්ත්වයක් බවත් ප්‍රකාශ කරයි.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවකදීයි.
ඒ ලෝක කෙරටකෝනස් දිනය (World Keratoconus Day ) සමරමින්. එහිදී වෛද්‍යවරයා පැවසුවේ වයස අවුරුදු 10ත් 20ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් මෙම රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම ගොදුරුවන බවත්, මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් රෝගය පාලනය කිරීමට හැකියාව ලැබෙන බවත්ය.
එසේම මේ රෝගය යම් දරුවකුගේ මවුපියන්ට තිබෙනවා නම් දරුවන් ද ඊට ගොදුරුවීමේ අවදානම 10%ක් බවත්, ඇස් නිතර කසනවා නම්, පීනස වැනි ආසාත්මිකතා ඇත්නම් මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම 50%ත් 60%ත් අතර ඉහළ අගයක් ගන්නා බවත් ඔහු කියා සිටියා.
එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී කෙරටකෝනස් (Keratoconus ) යනු කෝනියාව හෙවත් ස්වච්චය යන ව්‍යුහයට බලපාන අක්ෂි රෝග තත්ත්වයක් වන අතර මෙහි දී කෝනියාවේ සාමාන්‍ය උත්තල හැඩයෙන් මිදී ඉදිරියට නෙරා ඒම සිදුවන බව සඳහන් කෙරුණා.
ඒ අනුව මෙම රෝග තත්වය කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වන අතර පෙනිමේ දුර්වලතා ඇත්නම් වහාම අක්ෂි පරීක්ෂාවක් සදහා යොමුවිය යුතු බවද එහිදී හෙළි විය.
වයස අවුරුදු 10 – 20 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් මෙම රෝගී තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම ගොදුරුවන බව සඳහන්.
එබැවින් මුල් අවස්ථාවේදීම හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් රෝගය පාලනය කිරීමට හැකියාව ලැබෙයි.
එමෙන්ම නිතර නිතර ඇස් කණ්නාඩි මාරුකිරීමට සිදුවනවා නම් එයද ‘කෙරටකෝනස්’ රෝගී තත්ත්වයේ එක් පැතිකඩක් විය හැකි බවත්, ශ්‍රී ලංකාව තුළ මෙම රෝගයට ප්‍රතිකාර කිරීමට නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන් ඇති බවත් මාධ්‍ය හමුවට සහභාගී වූ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කළා.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක,
“මිනිස් ඇසේ කුනීතයට එහෙම නැත්නම් කළු ඉංගිරියාවට සම්බන්ධ රෝගී තත්ත්වයක්. එම රෝගය අද වන විට අපේ රටේ ජනතාව අතර වාර්තා වීම වැඩිවෙමින් පවතිනවා.අපේ රටේ මෙම රෝගී තත්ත්වය වැඩි වශයෙන්ම වාර්තා වන්නේ බදුල්ල සහ මාතලේ ප්‍රදේශවලින්. ලෝකය පිළිබඳව ගත්තෝත් ඉන්දියානු උප මහද්වීපයේ මේ රෝගයට ගොඳුරු වන ප්‍රජාව වැඩි බව අධ්‍යයන මඟින් හෙළි වෙලා තිබෙනවා. මේ රෝගය වයස අවුරුදු 10ත් 20ත් අතර නව යොවුන් වියේදී දැකිය හැකියි. එය කාලයත් සමඟ වර්ධනය වන්නක්. මෙම රෝගය මුලින් හඳුනාගෙන ප්‍රතිකාර නොකළොත් අක්ෂි බද්ධ කරන්න සිදුවෙනවා. ඇතැම් රෝගීන්ට අක්ෂි බද්ධ කරන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. මෙම රෝගය කළින් හඳුනා ගැනීමෙන් විශේෂ කණ්ණාඩි සිවි කාච මඟින් කුනීතයේ දෝෂ නිවැරැදි කරගන්න පුළුවන්. පාසල් දරුවෙකුට කණ්ණාඩි පැළඳීමට උපදෙස් ලැබුණා නම් අක්ෂි වෛද්‍යවරයකු හමුවී කෙරටොකෝනස් සඳහා පරීක්ෂාවක් කර ගත යුතුවෙනවා. මෙරට හඳුනාගෙන ඇති ළාබලතම කෙරටොකෝනස් රෝගියා අට හැවිරිදි දරුවෙක්. ඒ දරුවාට අක්ෂි බද්ධයක් කිරීමට සිදුව තිබෙනවා.” යනුවෙන් සඳහන් කළා.
කෙසේ වෙතත් ලෝක කෙරටකෝනස් දිනය (World Keratoconus Day ) 2016 වර්ෂයේ දී ජාත්‍යන්තර දිනයක් වශයෙන් නම්කර ඇති අතර, මෙරට දී එම දිනය සමරනු ලැබූ පළමු අවස්ථාව මෙය විය.
එමෙන්ම මෙම මාධ්‍ය හමුවට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක, කරාපිටිය ජාතික රෝහලේ කෝනියා පිළිබද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මේධාවනී දිසානායක, යාපනය ශීක්ෂණ රෝහලේ කෝනියා පිළිබද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.සුජීවන් සහ ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු පිරිසක් ද එක් වුණා.