කථානායක ජගත්ගේ රෙදි ලෝකෙම ඉස්සරහ ගලවන දයාසිරි - පාර්ලිමේන්තු හුටපටෙත් එක්කම ජාත්‍යන්තරයට දිගාරියි
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඒ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ වරප්‍රසාද ප්රශ්නය යටපත් කරමින් කථානායකවරයා සිය භාෂණයේ නිදහස සහ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය වෙත නිල ලෙස පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව දැනුම් දී ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපතිනී රෙෆිල්වේ ට්ෂ්වේනි-ත්සිපානේ සහ එහි මහලේකම් ස්ටීවන් ට්විග් යන මහත්ම මහත්මීන් වෙත ලිපියක් යොමු කරමින් බව සඳහන්.
අඳාළ ලිපියෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආයතනික අපක්ෂපාතීත්වය, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ භාෂණයේ නිදහස ආරක්ෂා කර ගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටින ඔහු ඒ ඔස්සේ කරුණු කිහිපයක් අනාවරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කථානායකවරයාගේ නිල රාජකාරීවලට අදාළ කාරණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින පසුබිමක, ඔහු තවදුරටත් කථානායක ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් විසින් ඉකුත් සැප්තැම්බර් 10 වන දින වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළ බවයි.
අඳාළ වරප්‍රසාද ගැටලුව පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමට අපේක්ෂා කළත්, ඒ පිළිබඳව තමන් විසින්ම අධ්‍යයනය කළ යුතු බව කියමින් කථානායකවරයා ඊට අවසර දීම ප්‍රතික්ෂේප කළ බව ඔහු පවසා ඇත.
තවද ඔහු පෙන්වා දෙන්නේ චෝදනාවට ලක්ව ඇති පුද්ගලයාම තමන්ට අදාළ පැමිණිල්ල විභාග කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි මෙන්ම ආයතනික අපක්ෂපාතීත්වය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන්නක් බවයි.
එමෙන්ම වෙනත් විවාදයකදී මේ පිළිබඳව කරුණු දැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී කථානායකවරයා සිය කතාව නතර කළ බවත්, එමඟින් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත යටතේ හිමිවන භාෂණයේ නිදහස උල්ලංඝනය කර ඇති බවටත් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.
එබැවින් අඳාළ තත්ත්වය සැලකිල්ලට ගෙන,
1. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීම උදෙසා මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්,
2. කථානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ අපක්ෂපාතීත්වයට අනුකූලදැයි සොයා බලන ලෙසත්,
3. අදාළ වරප්‍රසාද ප්රශ්නය පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට යොමු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව උනන්දු කරවන ලෙසත්,
4. මෙම වරප්‍රසාද ප්රශ්නය මතු කිරීමට අවසර නොදීම පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්,
5. පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ විෂය පථය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සහ භාෂණයේ නිදහස සුරැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ලිපියෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

