කොච්චර සුදු වුණත් බෙල්ල කළුයි ද? ඔයත් මෙහෙම කරා නම් ලැජ්ජා වුණ කාලේ ඉවරයි
හැම වෙලාවෙම සුදු වෙන්න ලස්සන වෙන්න හිතන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නවලින් එක්ක තමා බෙල්ල කළුයි කියන එක. මූණ අතපය කොච්චර ලස්සනට, සුදුවට තිබ්බත් බෙල්ල කළු නිසාම රටේ නැති ක්‍රම අත් හදා බලන්න ගිහිල්ලත් ඇති.
ඉතින් මේ ලිපියෙන් කතා කරන්නේ අන්න ඒ ප්‍රශ්නේ ගැන. වර්තමානේ ගොඩක් අයට තියෙන, හැබැයි රහසේම දුක් වෙන, ප්‍රතිකාර හොයන මේ බෙල්ල කළු වීම කියන්නේ ඇත්තටම මොකක්ද?
අපි මේ කතා කරන ශරීරයේ සමහර තැන් කළු වීම වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ Acanthosis Nigricans කියලා. මේකෙදි වෙන්නේ සම කළු වෙනවට අමතරව ඒ ප්‍රදේශ සිනිඳු වෙනවා. ඒ වගේම සමේ රැළි වැටීම වැඩියි. හැබැයි මේක දිලීර ආසාදනයක් වගේ කැසීමක් හෝ රතු වීමක් ඇති කරන්නේ නැහැ. මේ හේතුව නිසාම තමයි Anti-fungal ක්‍රීම් ගෑවට මේක සුව වෙන්නේ නැත්තේ.

කවුරු හරි ඇහුවොත් ඇයි මෙහෙම වෙන්නේ කිය, ඒකට ප්‍රධානතම හේතුව තමයි Insulin Resistance කියන තත්ත්වය.
අපේ ඇඟේ සීනි මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝනයෙන්. හැබැයි අපේ වැරදි ආහාර රටාව හෝ වෙනත් රෝග නිසා මේ ඉන්සියුලින්වලට තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙනවා. අන්න එතකොට අපේ අග්න්‍යාශය හිතනවා ඉන්සියුලින් මදි කියලා තව තවත් ඉන්සියුලින් නිපදවනවා. ඇඟ ඇතුළේ මෙහෙම ඉන්සියුලින් වැඩි වුණාම, ඒවා ගිහින් සමේ සෛලවලට බලපෑම් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සම අසාමාන්‍ය විදිහට ඝනකම් වෙලා කළු වෙන්න පටන් ගන්නවා. සරලවම කිව්වොත්, බෙල්ල කළු වීම කියන්නේ ඔබේ ඇඟ ඇතුළේ ඉන්සියුලින් අවුලක් තියෙනවා කියන එක.
ඒ වගේම මේ ප්‍රශ්නය වැඩිපුර එන්න බලපාන්නේ,

අධික දේහ බර: ඔයා ටිකක් මහත කෙනෙක් නම්, විශේෂයෙන් බඩ අවට මේදය වැඩි නම්, ඔයාගෙ සිරුරේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය අඩාල වීමේ සම්භාවිතාව වැඩියි.
පූර්ව දියවැඩියාව: ඔයාට දියවැඩියාව වැළඳෙන්න කලින් ඔයාගෙ සිරුර දෙන ලොකුම ඉඟිය තමයි මේ බෙල්ල කළු වීම. මේක “අනතුරු ඇඟවීමේ සංඥාවක්” විදිහට සලකලා ජීවන රටාව වෙනස් කළොත් ඔයාට දියවැඩියා රෝගියෙක් නොවී බේරෙන්න පුළුවන්.
කාන්තාවන්ගේ හෝමෝන ගැටලු : Polycystic Ovary Syndrome තත්ත්වයෙන් පෙළෙන තරුණ ගැහැණු ළමයින්ට මේ කළු වීම් බහුලව දකින්න ලැබෙනවා. ඒකටත් හේතුව මේ ඉන්සියුලින් ප්‍රශ්නයම තමයි.
ජානමය බලපෑම: සමහර විට පවුලේ කාට හරි මේ තත්ත්වය තිබුණා නම් ඔයාටත් ඇති වෙන්න පුළුවන්. ඖෂධ වර්ග: සමහර උපත් පාලන පෙති, ස්ටෙරොයිඩ් වර්ග (Steroids) හෝ නයිසින් වැනි විටමින් වර්ග අධිකව භාවිතය නිසාත් මෙහෙම වෙන්න පුළුවන්.
ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන අයට කියන්න තියෙන හොඳම ආරංචිය තමා මේ කළු වීම සදහටම නැති කරගන්න පුළුවන් කියන එක. ඒකට කරන්න තියෙන්නේ ඔයාගෙ අභ්‍යන්තර සෞඛ්‍යය නිරෝගී කර ගැනීම.

ඒ අතර,
කෑම රටාව සීනි සහ පැණිරස බීම සම්පූර්ණයෙන්ම වගේ නතර කරන්න. සුදු බත්, පාන්, බනිස් වැනි පිරිපහදු කළ පිටි කෑම අඩු කරලා නිවුඩු බත්, කුරක්කන් වැනි කෙඳි සහිත කෑම වලට මාරු වෙන්න.
එළවළු සහ පලා වර්ග ඔයාගෙ කෑම පිඟානෙන් 50% පුරවන්න. දිනපතා ඇඟ වෙහෙසන්න ව්‍යායාම කරනකොට ඔයාගෙ මාංශ පේශිවලට සීනි ඇදගන්න ඉන්සියුලින් උදව්වක් නැතිවම පුළුවන්.
දිනකට විනාඩි 30ක්වත් වේගයෙන් ඇවිදින්න හෝ ක්‍රියාශීලී වෙන්න. බර පාලනය ඔයාගෙ වර්තමාන බරින් 5%-10%ක් වැනි කුඩා ප්‍රමාණයක් අඩු කරගත්තත්, මේ කළු ලප පුදුම විදිහට මැකිලා යනවා ඔයාටම දකින්න පුළුවන් වේවි.
සැඟවුණු රෝග ගැන පරීක්ෂා කරන්න: ඔයාට මේ තත්ත්වය තියෙනවා නම්, නිකම්ම ඉන්නේ නැතිව වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිරයේ සීනි මට්ටම (HbA1c පරීක්ෂණය වැනි) සහ හෝමෝන මට්ටම පරීක්ෂා කරගන්න.
නින්ද සහ මානසික නිදහස: අඩු නින්ද නිසා සිරුරේ ආතති හෝමෝන (Cortisol) වැඩි වෙනවා. ඒකත් ඉන්සියුලින් වලට බාධා කරනවා. ඒ නිසා රෑට පැය 7ක්වත් සුව නින්දක් ලබන්න.
ඉතින් මෙච්චර දවස් බෙල්ල කළු වෙලා කියලා අපහසුවෙන් හිටියා නම්, රටේ නැති ඒවා ගාලා විසඳුම් හෙව්වා නම් පොඩ්ඩකට ඒවා පැත්තකින් තියලා ඔබේ අභ්‍යන්තර සෞඛ්‍යයේ නීරෝගීභාවය ගැන ටිකක් හිතන්න. එතකොට හිතත් ලස්සනයි ඔයත් ලස්සනයි. ආයේ බෙල්ල කළුයි කියලා වහ වහ ඉන්න ඕනේ නෑ.
