අයවැය නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳුදා ශාඛා සමිති රැස්වීම් කැඳවයි
මෙවර අයවැය තුළින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු වූ කරුණු ඉටු නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන සඳුදා (23) දින දිවයින පුරා සියලුම ශාඛා සමිති රැස්වීම් කැඳවීමට එම සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, සඳුදා දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ මෙම ශාඛා සමිති රැස්වීම් පැවැත්වෙන අතර, එම කාලසීමාව තුළ රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතය.
ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමේ බලය සංගමයේ විධායක සභාවට පැවරෙන බවද එම සංගමය සඳහන් කළේය. නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, පසුගිය වසර දෙක තුළ පමණක් තමන්ට හිමි දීමනාවලින් සැලකිය යුතු කොටසක් කැප කරමින් රුපියල් ලක්ෂ 44,000කට (රුපියල් බිලියන 4.4කට) අධික මුදලක් රටට සහ රජයට ඉතිරි කර දුන් බවය.
එවැනි පසුබිමක වෛද්‍යවරුන්ට සිදුවන ආර්ථික අසාධාරණයට සාධනීය සහනයක් නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කළ අයවැයෙන් අපේක්ෂා කළද, සියලු සාධාරණ ඉල්ලීම් නොසලකා හැර තිබීම හේතුවෙන් සමස්ත වෛද්‍ය ප්‍රජාව තුළම දැඩි අප්‍රසාදයක් ගොඩනැගී ඇති බව එම සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් පසුගිය 19 වැනිදා කැඳවූ හදිසි මධ්‍යම කාරක සභාවේදී 2018 වසරේදී අනුමත කළ සමස්ත DAT දීමනාව වහාම ලබාදීම, DAT දීමනාව සහ අමතර රාජකාරි හා නිවාඩු දින දීමනා බදුවලින් නිදහස් කිරීම, මෙන්ම වසර දෙකක් පුරා අත්හිටුවා ඇති අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවන්හි තුනෙන් එකක කොටස නැවත ගෙවීම ඇතුළු ප්‍රධාන කරුණු 5ක් අයවැය හරහා දිනා ගැනීමට යෝජනා වී තිබේ.
ඊට අමතරව සුදුසුකම් සපුරා ඇති වෛද්‍යවරුන් 22/99 චක්‍රලේඛය අනුව ප්‍රවාහන පහසුකම් සඳහා අන්තර්ග්‍රහණය කිරීම සහ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම ද එම ඉල්ලීම් අතරට ඇතුළත්ය.
මෙම ගැටලු පිළිබඳව ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවත්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලු විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.